ගාල්ල - පෝද්දල පවුල් 10කුත් ස්වයං නිරෝධායනයට
Tuesday, 07 April 2020 - 8:22 | Views - 1,322

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 178 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.
මීට අමතරව තවත් පුද්ගලයින් 139 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ පිටව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 38ක්.
කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගත් අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයා පෝද්දල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාතියෙකුගේ නිවසට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 10ක් නිවෙස්තුලම ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා.
පළාත් සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ ආසාදිත රෝගියා ඥාති නිවසට පැමිණ සාදයක් පවත්වා තවත් නිවෙස් කිහිපයක් වෙත ගොස් ඇති බවටයි.
ඒ අනුවයි එම නිවෙස්වල පුද්ගලයින් ස්වයං නිරෝධායනයකට යොමු කර ඇත්තේ.
මීට අමතරව මීගමුව, අක්කර පනහ, කඳසුරිදු ගම ප්‍රදේශයේ අවුරුදු 4ක දරුවෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා එම දරුවා පදිංචිව සිටි ප්‍රදේශයට පිවිසීම සහ පිටවීම සීමා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.
උණ රෝගී තත්ත්වයක් සහ ස්වසන අපහසුතාවයකින් පසුවූ නාවුල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක් රෝහලට ගෙන එන අවස්ථාවේදී ඊයේ මියගොස් ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
මීගමුවේ පෞද්ගලික ආයතනයක සේවය කරන ඇයගේ පුතෙකු පසුගිය දිනෙක නිවසට පැමිණ ඇති බවද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කළේ.
හලාවත ඉරණවිල ස්ථාපනය කරන ලද කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය අනිද්දා විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බව කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කරමින් මව්කිරි දීම සිදුනොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවයි ඔහු කියා සිටියේ.
Share This Article