තරුණ බව සුරකින කොලජන් බහුල අලිගැටපේර
Tuesday, 21 January 2020 - 16:55 | Views - 2,851

සම සහ කෙස් කලඹ පෝෂණය කිරීමට අලිගැටපේරවලට හැකියාව තිබෙනවා. විටමින් A, C, D, B6 වැනි ඔබව සුන්දර කරන පෝෂක රැසක් අලිගැටපේරවල අඩංගු වීම එයට හේතුවයි. කොලජන් වැඩි කර සමේ තරුණ බව වැඩි කිරීමටත් , සමේ තෙතමනය වැඩිකර සම පෝෂණය කිරීමටත්, කෙස් කලඹ ශක්තිමත් කිරීමටත් අලිගැටපේර යොදාගත හැකිය. අලිගැටපේරවලින් කරගත හැකි සත්කාර කිහිපයක් මෙම ලිපිය තුළින් දිග හැරෙනවා.
අලිගැටපේරවලින් සමට සත්කාර
* අලිගැටපේර ගෙඩියක් පොඩි කර එයට මී පැණි හැන්දක් මිශ්‍ර කර වියළි සම මත ආලේප කර විනාඩි 20ක් තබා ශීත ජලයෙන් සෝදා හරින්න. සතියකට වරක් මෙම සත්කාරය සිදුකරන්න.
* අලිගැටපේර, ප්ලේන් යෝගට් හොඳින් මිශ්‍ර කර වියළි සමේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා ශීත ජලයෙන් සෝදා හරින්න.
* අලිගැටපේර, කෙසෙල් ගෙඩියක් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න. මෙම සත්කාරය ඕනෑම සමකට යෝග්‍යයි.
* ඉදුණු අලිගැටපේර, ඕට්ස්, මී පැණි එකට මිශ්‍ර කර සම මත ආලේප කරන්න. විනාඩි 20ක් තබා අයිස් වතුරින් සෝදා හරින්න. සතියකට වරක් මෙම සත්කාරය සිදුකරන්න. ඕනෑම සමකට යෝග්‍යයි.
* තෙල් සහිත සමක් හිමි යුවතියක් නම් අලිගැටපේර, බිත්තර සුදුමදයක් සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා ශීත ජලයෙන් සෝදාහරින්න.
* අලිගැටපේර, නැවුම් පොල්තෙල්, කෝමාරිකා මදය එකට මිශ්‍රකර ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න. මිශ්‍ර සමක් සඳහා යෝග්‍යයි.
* කස්තුරි කහ, අලිගැටපේර, සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා අයිස් ජලයෙන් සෝදා හරින්න.
* අලිගැටපේර ගෙඩියක් ජලය කෝප්ප 2ක් සහ කෝමාරිකා 20ඨක් සමඟ බ්ලෙන්ඩර් කරන්න. මිශ්‍රණය අයිස් ට්‍රේ එකකට දමා අයිස් කැට සාදාගන්න. ඉන්පසු නින්දට යාමට පෙර මෙයින් එක් අයිස් කැටයක් ගෙන මුහුණ සම්බාහනය කර මුහුණ සෝදා හරින්න.
අලිගැටපේරවලින් කෙස් කලඹට සත්කාර
* සුපිරිසුදු පොල්තෙල්, ප්ලේන් යෝගට් සහ අලිගැටපේර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය කෙස් කලඹේ සහ හිසේ සම මත ආලේප කර විනාඩි 30ක් ආවරණය කර තබා ස්නානය කරන්න.
* අලිගැටපේර ගෙඩි එකක්, ඔලිව් තෙල් හොඳින් මිශ්‍ර කර කෙස් කලඹේ ආලේප කර විනාඩි 30ක් ආවරණය කර තබා ස්නානය කරන්න.
* අලිගැටපේර, නැවුම් පොල්තෙල්, කෝමාරිකා මිශ්‍රකර කෙස් කලඹේ ආලේප කරන්න. විනාඩි 20ක් ආවරණය කර තබා ස්නානය කරන්න.
* කෙසෙල් ගෙඩියක්, අලිගැටපේර ගෙඩියක් සහ බිත්තරයක් හොඳින් බ්ලෙන්ඩර් කරන්න. කෙස් කලඹේ ආලේප කර විනාඩි 30ක් ආවරණය කර තබා සෝදා හරින්න.
* කරපිංචා යුෂවලට අලිගැටපේර ගෙඩියක් මිශ්‍ර කර හිසකෙස්වල ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article