ජලය අවශ්‍ය තරම් සිරුරට නොලැබුණොත් ?
Tuesday, 17 December 2019 - 12:41 | Views - 2,399

මනුෂ්‍ය ශරීරයේ බරින් 60%ක් පමණ ප්‍රමාණයක් ජලය අඩංගුව පවතිනවා. ජලය ජීවීන්ගේ පැවැත්මට කොතරම් අත්‍යවශ්‍ය වනවාදැයි කිවහොත් ආහාර නොමැතිව දින කිහිපයක් ගත කළ හැකි නමුත් ජලය නොමැතිව දින දෙක තුනකට වඩා ජීවත් විය නොහැකිය. එනිසාම ජලයෙහි වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නවා.
විශේෂයෙන්ම ජීවියකුගේ පැවැත්මට නැතිනම් අපගේ මනුෂ්‍ය ශරීරය සජීවීව පවත්වාගෙන යෑමට ජලය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ශරීරය තුළ ජලය හිඟ වූ විටදී ඇති වන ගැටලුකාරි තත්ත්ව මොනවාද? අප ජලය පානය කළ යුත්තේ කුමන හේතුවක් නිසාද ආදී කරුණු කාරණ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අද අපි සිතුවා.
සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු දිනකට ජලය ලීටර් දෙකක් හෝ තුනක ප්‍රමාණයක්වත් අවම වශයෙන් පානය කළ යුතුයි. එනම් ජීව ශරීරයේ පවත්වාගෙන යෑම සඳහා ජලය වැදගත්වන අවස්ථා පහත පරිදි විග්රහ කළ හැකිය.
* ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ජලය ඉතාම වැදගත් කාර්යයක් ඉටු කරනවා.
* ශරීරය වියළීම වළක්වා (විජලනයට ලක්වීම) ගැනීම සඳහා ශරීරයේ අඩංගු ජල ධාරිතාව ඉහළ අගයක පැවැතීමත් ඉතාම වැදගත්.
* ශරීර අභ්‍යන්තරයේ පවතින සියලුම ඉන්ද්රියයන්, සෛල වර්ග, කාටිලේජ ආදියෙහි නිසි ක්‍රියාකාරිත්වයට ජලය ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
* ශරීරය තුළ නිපදවන විස ද්‍රව්‍ය, අපද්‍රව්‍ය ලෙසින් (බහිස්රාවීය ද්‍රව්‍ය ලෙස) ශරීරයෙන් බැහැර කිරීමට ජලය මාධ්‍යයක් ලෙස ක්‍රියාකරනවා.
උදාහරණ ලෙස මුත්‍රා, මලපහ, කෙල, සොටු, දහදිය ආදිය දැක්විය හැකිය.
* ඇස, මොළය, සුෂුම්නාව ආදී අවයවවල කම්පනයන් උරා ගැනීමේ මාධ්‍යයක් වීම.
* රුධිරයේ මුත්‍රා පෙරීම සඳහා ප්‍රධාන මාධ්‍ය වන්නේ ජලයයි. එය නිසි අයුරින් සිදුනොවන විටදී වකුගඩුවල ගැටලු මතු විය හැකිය.
* හෝර්මෝනවල ක්‍රියාකාරිත්වයටද ජලය අත්‍යවශ්‍යයි.
* සිරුර තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා (පරිවෘත්තීය ක්‍රියා) සඳහා ජලය මාධ්‍යයක් ලෙසින් ක්‍රියා කරනවා.
* ජීවී දේහවල පෝෂක කොටස් පරිවහනයටද ජලය උදවු වෙනවා.
* එමෙන්ම ජීවී ශරීරයන් තුළ ප්‍රධාන පරිවහන මාධ්‍ය වන රුධිරයේ 90%ක්ම අඩංගු වන්නේ ජලයයි. එනිසා ජලයේ ද්‍රාවණ ගුණය ඉහළ අගයක් ගැනීම රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටද වැදගත් වෙනවා.
මේ ආකාරයට මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය ස¼දහා ප්‍රධාන ලෙසම උපකාර වන ජලය ශරීරය තුළින් ඉවත්වන ආකාරයන්ද කිහිපයක් තිබෙනවා. ඒවා නම්,
ප්‍රධාන ලෙසින්ම මලපහ, දහදිය, මුත්‍රා, කෙල, සොටු ආදී බහිස්රාවීය ද්‍රව්‍ය මඟින් ජලය ශරීරයෙන් පිට වීම සිදුවෙනවා. එදිනෙදා සාමාන්‍ය ලෙසින් ශරීරයෙන් ජලය ඉවත් වීම සිදුවන අතරම ශරීරයට බාහිරින් ජලය ලබාගැනීමද අත්‍යවශ්‍ය වනවා. එනම් ශරීරයෙන් පිටවන ජල ප්‍රමාණය හා ශරීරයට ලබා ගන්නා ජල ප්‍රමාණය අතර සමබරතාව පවත්වාගෙන යෑම ඉතාම වැදගත් කාරණයක්. නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා නිතරම පිරිසුදු ජලය පානය කළ යුත්තේ එනිසාය.
ශරීරය තුළ අඩංගු වන ජලය අධික ලෙස ශරීරයෙන් ඉවත්වීම සිදුවිය හැකි ආකාර කිහිපයක්ද තිබෙනවා. එනම්, අතීසාරය, පාචනය, කොළරාව, ඩෙංගු ආදී රෝගී තත්ත්වයන් වැලඳුණු විටදී වමනය සහ දියරමය වශයෙන් මලපහ පිටවීම, මුත්‍රා පිටවීම වැඩිපුර සිදුවීම ආදී රෝගී තත්ත්වයන් ඇති වූ විට ශරීරය තුළ අඩංගු ජලය වැඩි වශයෙන් ඉවත්වීමක් සිදුවිය හැකිය. එනම් යම්කිසි වස්තුවකින් ජලය ඉවත් වීම “විජලනය” (Dehydration) ලෙසින් හඳුන්වනවා. වෛද්‍ය විද්‍යානුකූලව මෙම විජලන රෝගී තත්ත්වය විග්රහ කරනු ලබන්නේ ජීවී ශරීරයක සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට දේහය තුළ ජලය නොමැති වීම ලෙසයි. ජීවනී, සේලයින් ආදිය මඟින්ද, නිවෙසේදී නම් තැඹිලි වතුර, කුරුම්බා වතුර ආදිය මඟින්ද ශරීර අභ්‍යන්තරයට ජලය ලබා ගත හැකිය.
විජලනය සෑදුණු පුද්ගලයකු තුළින් දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද යන්න පැහැදිලි කිරීමේදී,
* නිතරම පිපාසය දැනීම.
* මුත්‍රා නිපදවන ප්‍රමාණය අඩු වීම.
* මුත්‍රා තද පැහැයෙන් යුක්තව පිටවීම.
* ක්ලාන්තය, කැරකිල්ල ආදී තත්ත්වයන් ඇති වීම.
* මස් පිඬුවල වේදනාව ඇති වීම සහ මස් පිඬු පෙරළීම සිදුවීම.
* අධික මහන්සිය දැනීම.
* හෘද ස්පන්දන වේගය වැඩි වීම.
රුධිර පීඩනය අඩු වීම ආදී ලක්ෂණ මතුවිය හැකියි. මෙම විජලන තත්ත්වය උත්සන්න වී ශරීරයේ පවතින සෛලවල ක්‍රියාකාරිත්වය අඩු වී මරණය පවා සිදුවිය හැකිය.
එමෙන්ම පිලිස්සීම් ආදී තත්ත්වයන්ට යම් පුද්ගලයකු ගොදුරු වූ විටදී ද සිදුවන රුධිර වහනයත් සමඟ ජලය විශාල ලෙසින් ඉවත් විය හැකිය.
යම්කිසි හේතුවක් මත රුධිර සංසරණ පද්ධතියෙහි අඩංගු විය යුතු ජලය ප්‍රමාණය අඩු විටදී ද පිපාසය දැනීම, තද වර්ණයෙන් යුක්තව මුත්‍රා පිටවීම, අධික ලෙස දහදිය දැමීම ආදී තත්ත්වයන් මඟින් ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ජලය ප්‍රමාණය හිඟ බව ඔබට දන්වා සිටිනවා. එවිට හැකිතාක් ජලය පානය කිරීම, ජලය වැඩිපුර අඩංගු පිපිඤ්ඤා, කොමඩු ආදී පලතුරු හා එළවළු වර්ග මඟින් ශරීරයට ජලය ලබා ගත යුතුයි. විවේකය ලබා ගැනීම, වඩාත් සිසිල් වටපිටාවක් වෙත ගමන් කිරීම, හැකිතාක් වායු සමීකරණ ආදියෙන් ඉවත්වි සිටීමත් වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් ශරීර අභ්‍යන්තරයේ පැවැතිය යුතු උෂ්ණත්වය වන්නේ පැරන්හයිට් 98.6%ක ප්‍රමාණයක් වන අතර එම අගය වැඩි වූ විටදී ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ශරීරයේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වයද අඩපණ විය හැකියි.
නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය වන පෝෂ්‍යදායී ආහාර හා ව්‍යායාම ආදිය ද ලබා ගන්නා අතරම වැඩි වශයන් පිරිසුදු ජලය පානය කිරීමෙන් ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව, මල බද්ධය, වකුගඩු රෝග, අක්මා රෝග, කොලෙස්ටරොල්, හෘද රෝග, උපත් ආබාධ තත්ත්වයන්, ශරීර උෂ්ණත්වය ඉහළ යෑම (රත්තය) ආදී රෝගාබාධ රාශියකින් මිදීමේ හැකියාවද ඔබට තිබෙනවා.
දිනූෂා මනෝරි නිශ්ශංක
Share This Article