ඖෂධ වටිනාකමකින් යුත් තුනපහ
Tuesday, 20 August 2019 - 12:59 | Views - 3,467
අතීතයේදී බොහෝ නිවෙස්වල අවශ්‍යතාව මත තුන පහ එවෙලෙහිම අඹරා භාවිතයට ගනු ලැබුවා. නමුත් වර්තමාන කාර්යබහුල ජීවන රටාවේදී ඒ වෙනුවට වෙළෙඳපොළෙන් මිලදී ගන්නා කල්තබාගත හැකි තුනපහ භාවිතයට බොහෝ ගෘහණියන් යොමුව තිබෙනවා. වර්තමානය වන විට තුනපහ භාවිතයේ අරමුණව තිබෙන්නේ රසය සහ සුවඳ ලබාගැනීමයි. වෙළෙඳපොළෙන් මිලදී ගන්නා තුනපහ වර්ගවලින් එම රසය හෝ සුවඳ ලැබෙනවාද යන්න ගැන නම් ගැටලුවක් පැනනැඟෙනවා.

අතීතයේ සිටම ලංකාව තුළ කුළුබඩු, තුනපහ භාවිත වූ බවට සාධක බොහොමයක් හමුවනවා. තුනපහ භාවිතයෙන් රසය, සුවඳට අමතරව ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වූයේ ලෙඩ රෝග නිවාරණය කොට ශරීරයට ගුණ ලබාගැනීමයි. ආයුර්වේදය තුළ ප්‍රධාන ස්ථානයක් ලබාගන්නා දේශීය තුනපහවල වටිනාකම පිළිබඳ ඔබ නොදත් කරුණු රැසක් මෙම ලිපිය ඔස්සේ දැනුවත් විය හැකියි.

තුනපහ සඳහා යොදාගන්නා දේශීය කුළුබඩු ඉතා දීර්ඝ ඉතිහාසයක් දක්වා දිවයනවා. ඒ සඳහා ඉතා පැහැදිලි සාක්ෂි රැසක්ම පෙන්වාදීමට හැකියාව තිබෙනවා. මහා වංසයේ සඳහන් වන පරිදි තුන්වැනි මිහිඳු රජු පාත්තරයකට පුරවන ලද ගම්මිරිස්, තිප්පිලි, ඉඟුරු, අරළු, බුළු වැනි කුළුබඩු මහ සංඝරත්නයට පූජා කොට තිබෙනවා. එසේම හෙළයේ විසූ ජනතාව කුළුබඩු භාවිත කළ බව පූජාවලිය තුළද සඳහන් වෙනවා. ඔවුන් ආහාර රසවත් කිරීමට සහ ගුණවත් කිරීමට ලුණු, ඇඹුල්, දෙහි, සියඹලා, ගම්මිරිස්, දුරු, අබ, සිද්ධිගුරු, වගපුල්, තිප්පිලි වැනි දෑ යොදාගෙන තිබෙන බව දැක්වෙනවා.

ශ්‍රී  ලංකාවෙන් පලස්තීනයට කුරුඳු ගෙන ගිය බවද බයිබලයේ දැක්වෙනවා. ශ්‍රී  ලංකාවේ කුළුබඩුවල ගුණාත්මක භාවය පිළිබඳ විදේශිකයන් අතර කතාබහට ලක්වූවා. ඒ අනුව පෘතුගීසීන් එවකට සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී  ලංකාව සොයා ඒමටද කුළුබඩු හේතු වූ බව දැක්වෙනවා. ශ්‍රී  ලංකාව තුළ තිබුණු කුරුඳුවලට ඔවුන් සුවිශේෂී අවධානයක් යොමු කරනු ලැබූ බව ඔබ අසා ඇති.

බොහෝ දෙනා තුනපහ යනුවෙන් හඳුනන්නේ අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා තුනපහ කුඩුවලටයි. නමුත් "තුනපහ" යන්න නිර්වචනය කෙරෙන ආකාර කිහිපයක්ම තිබෙනවා. එක් නිර්වචනයදී කුළුබඩු කොටස් දෙකකට බෙදෙන බවත් ඉන් එක් කොටසක් තුන ලෙසින්ද අනෙක් කොටස පහ ලෙසින්ද හැඳින්වෙන බව දැක්වෙනවා. එම කොටස් තුනට කොත්තමල්ලි, සූදුරු, මහදුරු ද කොටස් පහට කුරුඳු, එනසාල්, කහ, කරඳමුංගු, කරපිංචා අයත් බවද දැක්වේ.

තවත් තැනෙක තුනපහ යනු සූදුරු, මහදුරු, කළුදුරු සහ කොත්තමල්ලි, සූදුරු, කුරුඳු, කහ, එනසාල් බවද සඳහන් වෙනවා. තුනපහ මඟින් සියලු රෝග පහ කෙරෙන බැවින් තුනපහ ලෙස හැඳින්වෙන බවටද මතයක් තිබෙනවා. පළාත් අනුව මෙම නිර්වචන සහ තුනපහ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වෙනස් වී තිබෙනවා.

අප ගන්නා ආහාරවල යම් යම් කොටස් නිසා ශරීරයට අහිතකර භාවයක් එක් විය හැකියි. එය පහ කිරීම උදෙසා තුනපහ වර්ග භාවිත කෙරෙනවා.

ප්‍රධාන වශයෙන් තුනපහවල අඩංගු කුළුබඩු කිහිපයක් තිබෙනවා. ගම්මිරිස්, අබ, කුරුඳු, සහල්, අමුපොල්, රම්පෙ, අබ, මහදුරු, සූදුරු, කළුදුරු, සාදික්කා, වසාවාසි, සේර, තිප්පිලි, කොත්තමල්ලි, කහ, උළුහාල් ඒ අතර වනවා. ඉන් ප්‍රධාන කුළුබඩු කිහිපයක ඔෟෂධීය ගුණය පිළිබඳ විමසා බලමු.

සූදුරු, මහදුරු, කළුදුරු

උප්පත්තියේ සිට මරණය දක්වා ඇති වන රෝග දුරු කිරීමට සමත් හෙයින් ‍ෙදාස් දුරු කරන දුරු වර්ග ලෙස මේවා හැඳින්වෙනවා. කුළුබඩුවල ප්‍රධානම කුළුබඩුව ලෙස හැඳින්වෙන්නේ දුරු වර්ගයි. චර්ම රෝග, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල, අසාත්මිකතා, අජීර්ණතා, ගර්භාශගත රෝග, පීනස, කැස්ස වැනි ඕනෑම රෝගයකට දුරු වර්ග ගුණ ගෙන දෙනවා. කළුදුරු අක්මාවට, හෘදයට ඉතා ගුණයි. ප්‍රතිඔක්සිකාරකයක් වන දුරු ප්‍රතිශක්තිකරණයද වර්ධනය කිරීමට සමත් කුළුබඩුවක් ලෙස පෙන්වාදිය හැකියි.

කොත්තමල්ලි

දරුවකුට මවුකිරි ලබාදීමට අපහසු නම් ඒ වෙනුවට දේශීය වෙදකම තුළ ආදේශ කර දක්වන්නේ කොත්තමල්ලියි.

සංස්කෘතික භාෂාවෙන් කුස්තුම්බුරු ලෙස හැඳින්වෙන කොත්තමල්ලි වාත, පීත, කප ත්‍රිදෝෂ නසනා ඔෟෂධයකි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, සිරුරේ උෂ්ණය, ආහාර ජීර්ණයට ඉතා යෝග්‍යයි. ප්‍රෝටීන, මේදය, විටමින් අඩංගු වනවා.

කහ

කහවල ප්‍රධානතම ගුණය විසබීජ නාශක ගුණයයි. සුවඳකාරකයක්, අලංකාර වර්ණයක් ලෙස භාවිත කරන කහ තුවාල සුව කිරීමට, ලප කැළැල් ඉවත් කිරීමට, කැස්ස, ඇදුම සුව කිරීමට ඉතා යෝග්‍යයි.

ගම්මිරිස්

අතීතයේදී අප රටේ මිරිස් වෙනුවට භාවිත වූයේ ගම්මිරිස් වර්ගයි. රතු මිරිස් අප රටේ කුළුබඩුවක් නොවන අතර ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කුළුබඩුවක් වන අතර කළු, සුදු, ලෙස ගම්මිරිස් වර්ග තුනක් දැකගත හැකියි. පිළිකා නාශක ගුණයෙන් යුතු ගම්මිරිස්, ශරීරය ශීත කරවන අතර පිලිස්සුණු තුවාලද සුවපත් කරනවා. එසේම කැස්ස, හතිය, ඇදුම සුව කර ආහාර ජීර්ණයද පහසු කිරීමට ගම්මිරිස්වලට හැකියාව තිබෙනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top