ස්නායු ආබාධ, වකුගඩු රෝග රැසක් තෑගි කරන සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන්
Thursday, 23 May 2019 - 12:05 | Views - 2,395

සම සුදු කර ගැනීමට උත්සාහ කිරීම වර්තමානය වන විට උන්මාදයක තත්ත්වයට පත්වී හමාරයි. මේ ලිපියෙන් අද අපි ඔබට කියන්නේ මෙසේ සම සුදු කර ගැනීමට බොහෝ දෙනෙක් භාවිත කරන ග්ලුටතයෝන් (glutathione) පිළිබඳ.
ග්ලුටතයෝන් අඩංගු ආලේපන බොන බෙහෙත් සහ එන්නත් ලෙසත් වෙළෙඳපොළේ පවතිනවා. මුල් කාලයේදී මෙය පිළිකා සඳහා ඖෂධයක් ලෙස භාවිත කළා. පසුව එය අක්මා රෝග, ස්නායු රෝග සඳහාත් ඔෟෂධයක් ලෙස භාවිත කළා. මෙම ඖෂධ භාවිත කරන විට සම සුදු වන බව ඔවුන් දුටුවා. එතැන් සිට මෙය සම සුදු කරන ඔෟෂධයක් ලෙසත් භාවිත කිරීමට යොමු වුණා. නමුත් ශ්‍රී ලංකාවේ මෙය තවම ලියාපදිංචි කර නැහැ.
සම සුදුවීම සඳහා ග්ලුටතයෝන් ඇතුළත් ආලේපන ආලේප කිරීම සහ ග්ලුටතයෝන් පෙති ලෙස පානය කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබී යෑම නිසා බොහෝ දෙනා ග්ලුටතයෝන් එන්නත් ලෙස ලබා ගැනීමට පෙලඹී තිබෙනවා.
රෝගී තත්ත්වයක් නොමැතිව රෝගී තත්ත්ව උදෙසා ලබා දෙන ඔෟෂධ පැහැපත් වීමට ලබා ගැනීම නිසා අතුරු ආබාධ ගණනාවක් ඇති විය හැකියි. වකුගඩු ආබාධ ඇතුළු රෝගී තත්ත්වයන්ද ඒ අතර වෙනවා.
ග්ලුටතයෝන් එන්නත ලබා ගත්තද ඉන් සමට ලැබෙන සුද දිගු කාලීනව පවතින්නක් නොවෙයි. එම නිසා මෙම එන්නත නැවත එන්නත් කර ගැනීමට සිදු වෙනවා.
ඝර්ම කලාපීය රටවල මිනිසුන්ගේ සම සැකසී තිබෙන්නේ මෙම කලාපයේ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිද්දෙනුයි.
මෙම ඖෂධ භාවිතය මඟින් සමෙහි මෙලනින් වර්ණකය අඩු වීම සිදුවෙනවා. සමෙහි මෙලනින් වර්ණකය අඩු වූ විට හිරු එළියට නිරාවරණය වූ විට සම පිච්චීමට ලක් වෙනවා. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පිළිකා පවා ඇතිවිය හැකියි.
එම නිසා සම පැහැපත් කරගැනීමට ගොස් අතුරු ආබාධ ඇති නොකරගෙන ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති පැහැය රැකගෙන නිරෝගීව සිටීමට උත්සාහ ගැනීම වැදගත්.
ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article