හිස්හොරි නැති කරන රූ සත්කාර සාස්තරේ
Wednesday, 22 May 2019 - 11:41 | Views - 1,684

හිස්සොරි ඇතිවීම නිසා පීඩා විඳින ඔබට පහසුවෙන්ම කරගත හැකි ස්වාභාවික සත්කාර පෙළකටයි දැන් අපි ඔබේ අවධානය යොමු කරන්නේ.
හිස්සොරි ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක්ම බලපානවා. අපිරිසුදු බව, හිස්කබල අධික තෙල් සහිත වීම, හිස් කබල තද වියළි ස්වභාවයකින් යුක්ත වීම, නිදි වැරීම, මානසික ආතතිය, පෝෂණ උෟනතා ආදිය ඒ අතර වෙනවා.
අතීත කාන්තාවන් හිස සේදීම සඳහා ගස්වල ගෙඩි සහ පොතු වර්ග භාවිතයට ගනු ලැබුවා.
දෙහි ගැට සහ උළුහාල් තම්බා හිස සේදීම, ගොඩපර ගෙඩි කොටා එම යුෂ ආලේප කිරීම, වෙරළු ගෙඩි කොටා එහි යුෂ ආලේප කිරීම ආදිය ඒ අතර වෙනවා.
එම සත්කාරත් ඉතා ප්‍රතිඵලදායකයි. එම සත්කාරවල නිරත වෙන අතරේ පහත සඳහන් සත්කාරවලත් නියැළී බලන්න. කොහොඹ කොළ කුඩු කරන්න. එයට දෙහි බින්දු කීපයක් සහ ජලය මිශ්‍ර කර තලපයක් ලෙස සාදා හිසේ ආලේප කර පැයකට පමණ පසුව සෝදා හරින්න.
පොල්තෙල් හා දෙහි යුෂ එකම අනුපාතයට ගෙන හොඳින් මිශ්‍ර කර හිසේ සමෙහි තවරා හොඳින් සම්බාහනය කරන්න. විනාඩි විස්සකින් පසුව සෝදා ඉවත් කරන්න.
මෙම සත්කාරයෙහි සතියකට තුන්වරක් පමණ ඔබට නිරත විය හැකියි.
මරතෝන්ඩි කොළ වියළාගෙන හොඳින් කුඩු කරන්න. එයට දෙහි බින්දු කිහිපයක්ද එකතු කර තලපයක් ලෙස සාදා හිසේ සමෙහි සහ හිසකෙස්වල ගල්වා පැයක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න.
උළුහාල් මේස හැඳි පහක් පමණ ගෙන රැයක් පෙඟෙන්නට තබන්න. පසුදින එය අඹරා දෙහි බින්දු කිහිපයක්ද මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. පැය භාගයකට පසු සෝදා හරින්න.
බිත්තර කහ මදය දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේප කර පැය භාගයකට පසු සෝදා හරින්න.
පිරිසුදු විනාකිරි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේප කර පැය භාගයකට පමණ පසු සෝදා හරින්න.
පොල්තෙල් කෝප්ප භාගයක් කරපිංචා කොළද එකතු කර හොඳින් රත් කරන්න. පොල්තෙල් කොළ පැහැ වනතුම රත් කරන්න. එය මඳක් නිවෙන්නට හැර හිසෙහි ආලේප කරන්න. පැය කිහිපයකට පසුව සෝදා හරින්න. මෙම සත්කාරය ඔබට සතියට තුන් වරක් පමණ කළ හැකියි.
එක් වරක් පමණක් කිරීමෙන් මෙම කිසිදු සත්කාරයකින් හිස්සොරි නිට්ටාවටම සුවවීමක් සිදු නොවේ. එම නිසා මෙම සත්කාරවල දින තුනකට වරක්වත් නිරත වන්න. මෙම සත්කාරවල නිරත වෙන අතරේ තමා හිස පීරන පනා, හිස තබන කොට්ට උර, හිස පිස දමන තුවා ආදී සියල්ලක්ම පිරිසුදු කර භාවිත කිරීම වැදගත්. ඒ අතරේ මානසික සුවයෙන් සිටීමත්, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමත්, පෝෂ්‍යදායී ආහාර සහ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත් කළ යුතුයි. එවිට හිස්සොරි නිට්ටාවටම සුවකර ගත හැකියි.
හිස්සොරි කෙනකුගෙන් කෙනකුට බෝවිය හැකි නිසා අනුන්ගේ පනා, තුවා ආදිය භාවිතයෙන්. වැළකිය යුතුයි. ඒ වගේම හිස පිරිසුදුව තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු අතරම කන්ඩිෂනර් වර්ග, ජෙල් වර්ග ආදිය හිසේ සමෙහි ආලේප නොකිරීමටද වගබලා ගත යුතුයි.
ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article