රට පුරා ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්.. ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්..
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙනවා. වත්මන් දත්ත වාර්තාවලට අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන්ම ජූලි මාසයේ අවසන් දින 5 ක කාලය තුළ පමණක් රෝගීන් 5,663 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පවසා සිටියා.
මේ වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වඩාත්ම කණගාටුදායක කරුණ නම්, මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර වයස අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් පස් දෙනෙකු ද සිටීමයි.
වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යාම මෙම තත්ත්වය උත්සන්න වීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා.
තම නිවෙස්, පාසල් සහ රැකියා ස්ථාන අවට පරිශ්‍රයන්හි වතුර රැඳෙන ස්ථාන ශුද්ධ පවිත්‍ර කර මදුරුවන් බෝවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.