"මගේ සින්දු පාවිච්චි කරන්න එපා" Ariana Grande කළ ප්‍රකාශයට ධවල මන්දිර ප්‍රකාශක දුන් සැර පිළිතුර මෙන්න.
අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වන Ariana Grande, තමන්ගේ ගීත අමෙරිකානු ධවල මන්දිරයේ ප්රචාරක කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසට ධවල මන්දිරයට දැඩිව ප්රකාශ කර තිබෙනවා.
ධවල මන්දිරය විසින් ඔවුන්ගේ සංක්රමණික ප්රතිපත්ති ප්රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්ය වීඩියෝවකට ඇයගේ ගීතයක් භාවිත කිරීමත් සමඟ මෙම ගැටලුකාරී තත්ත්වය හටගෙන තිබෙනවා.
පසුගිය සඳුදා ධවල මන්දිරය විසින් දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් පිරිසකගේ අත්වලට මාංචු දමන දර්ශන පෙළක් Tik Tok සමාජ මාධ්ය ජාලයට කෙටි වීඩියෝවක් එක්කර තිබුණා.
ඒ සඳහා පසුබිම් සංගීතය ලෙස යොදාගෙන තිබුණේ Ariana Grande විසින් 2024 වසරේදී ගායනා කළ "Bye" නැමැති ජනප්රිය ගීතයයි.
එමෙන්ම එම වීඩියෝවට, "Bye-bye..., ජනාධිපති ට්රම්ප් ඉතිහාසයේ වඩාත්ම ආරක්ෂිත දේශසීමාව නිර්මාණය කර තිබෙනවා"" යනුවෙන් සටහනක් ද තබා තිබුණා.
මෙම වීඩියෝව දුටු අරියානා, ඊට දැඩි විරෝධය පළ කරමින් අදාළ පෝස්ටුවට මෙලෙස ප්රතිචාර දක්වා තිබෙනවා.
"කරුණාකර මෙම ම්ලේච්ඡ, අමානුෂික, සහ පිළිකුල් සහගත විකාර සහගත දේවල් වලට මගේ ගීත පාවිච්චි කරන්න එපා"
"ඇත්තටම ම්ලේච්ඡ, අමානුෂික සහ පිළිකුල් සහගත වන්නේ අහිංසක අමෙරිකානු පුරවැසියන්ට තුවාල සිදුකරන සහ ඔවුන්ව ඝාතනය කරන අපරාධකාරී නීති විරෝධී පිටස්තරයින්" බව ඇයගේ මෙම ප්රකාශයත් සමඟ ඇමරිකානු මාධ්ය වෙත අදහස් දක්වමින් ධවල මන්දිර ප්රකාශක Abigail Jackson කියා සිටියා.
ධවල මන්දිරය විසින් මෙම වීඩියෝව නිකුත් කර ඇත්තේ ජනාධිපති ඩොල්ඩ් ට්රම්ප් විසින් සිය ධුර කාලයේ ඉතිරි වසර දෙකහමාරක කාලය සඳහා සංක්රමණික ආයතන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 70කටවැඩි අරමුදල් අනුමත කරමින් නව පනතකට අත්සන් තැබීමෙන් පසුවයි.