ඔබත් දවල් කාලයේ වැඩිපුර එළිමහනේ ඉන්නවාද? සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කියපු භයානක ඇත්ත මෙන්න.
Thursday, 07 May 2026 - 16:26 | Views - 137
දෛනිකව දැඩි හිරු රශ්මියට නිරාවරණය වන පුද්ගලයින්ට සමේ පිළිකා ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
විශේෂයෙන්ම උදෑසන 10ත් පස්වරු 4ත් අතර කාලය තුළ පවතින හිරු එළිය සිරුරට වඩාත් අහිතකර බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළා.
හිරු එළියෙන් එල්ල වන මෙම බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා සිරුර උපරිමයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් භාවිත කරන ලෙසත්, හිරු එළියට නිරාවරණය වන අවස්ථාවලදී සුදුසු ආරක්ෂිත ආලේපනයක් (Sunscreen) භාවිත කරන ලෙසත් පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් මහත්මිය පවසා තිබෙනවා.
සමෙහි නිරෝගීභාවය රැකගැනීම සඳහා මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කළා.
දවසේ උච්චතම හිරු රශ්මිය පවතින කාල සීමාව තුළ සෘජුවම හිරු එළියට නිරාවරණය වීමෙන් සෛලවලට හානි සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් එළිමහන් රාජකාරිවල නිරත වන පුද්ගලයින් සහ පාසල් දරුවන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇති බව වාර්තා කළා.
Share This Article