කෝටි ගාණක එන්නත් ටික ඉවර වෙන්නද යන්නේ? ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය දැන් සාමාන්‍ය ජන ජීවිතය ඉක්මවා ගොස් අපේ රටේ සෞඛ්‍ය පද්ධතියටම මරු පහරක් එල්ල කරමින් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගේ අවධානයට වහාම ලක් විය යුතු බියකරු පුවතක් පසුගියදා වාර්තා වුණා.
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් හා ජාතික එන්නත් ගබඩාවල රුපියල් කෝටි ගණනක් වටිනා එන්නත් තොග මේ වනවිට ගබඩා කර තිබෙනවා.
විදුලිය හා ඉන්ධන හිඟය නිසා මෙම එන්නත් සුරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය ශීතකරණ පද්ධති අකර්මණ්‍ය වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වමිල් මුතුකුඩ හෙළිකර සිටිනවා.
මෙහි ඇති භයානකකම වන්නේ එන්නත් මිළියන ගණනක් කල්ඉකුත් වෙන්න පුලුවන්. මේ නිසා දරුවන්ගේ හා මහජනතාවගේ රෝග පාලනය සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන් අඩපණ වීමේ අවදානමක් තිබෙනවා.
මෙම මහා විනාශය වළක්වා ගැනීමට නම් අවම වශයෙන් එන්නත් ගබඩා කර ඇති ස්ථානවලට සහ ශල්‍යාගාරවලට බැටරි සහිත සූර්යකෝෂ (Solar) පද්ධති ඉක්මනින් සවිකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යෝජනාකර සිටිනවා.
සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම සඳහා වන සැලසුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මීට සති දෙකකට පෙර සියලුම ආයතනවලට දන්වා තිබුණත්, තවමත් තත්ත්වය යහපත් අතට හැරී නැහැ.
සෞඛ්‍ය සේවාව අඩපණවීම වළක්වා ගැනීමට වහාම වැඩපිළිවෙළක් සකස්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.