කොහිල අල, නෙළුම් අල, කන්කුන් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න...
Saturday, 23 August 2025 - 10:45 | Views - 345
නිරෝගි සම්පත උතුම්ම සම්පතයි. එහෙත් මේ උතුම්ම සම්පත අපෙන් ගිලිහී ගියොත් අප අනිවාර්යයෙන්ම රෝගීන් බවට පත් වනවා. අප රෝගී වන්නේ කෙළෙසද ? සමහර විට ජාන වලින් එය සිදුවිය හැකියි.

විටෙක වෛරස් මාර්ගයෙන්, විටෙක සිරුරේ ඇති රසායන ද්‍රව්‍ය වල සමතුලිතතාවය බිඳීමෙන්ද අප රෝගී විය හැකියි. මේ සියලුම කරුණු කාරණා වලින් වැළකී සිටීමට බොහෝ දුරට අපට අපහසුවන්නේ එයින් වැළකීමට අප සතු ඉඩ ප්‍රස්ථා අවම බැවිණි.

නමුත්, වෛද්‍ය පරීක්ෂණ වාර්තා ගෙනහැර දැක්වීමේදී අපට ප්‍රත්‍යක්ෂ වන තවත් එක්තරා කරුණක් ඇත. ඒ අතීතයේ විසූ අපගේ මුතුන් මිත්තන්ට වඩා වර්තමානයේ ජීවත්වන අප රෝගීන් බවට පත්වීමේ ප්‍රවණතාවය වැඩි බවයි.

එයට හේතුව කුමක්ද ? ඒ පිළිබඳව අපට කරුණු පැහැදිලි කිරීමට මෙවර එක්වනුයේ මහනුවර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය උපාලි ගුණරත්න මහතායි.

වෛද්‍යතුමනි වෛද්‍ය වාර්තා අනුව පෙනී යන්නේ වර්තමානයේ රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි. එයට මූලිකවන හේතුන් කවරක්ද ?

එයට බෙහෙවින් බලපාන හේතුවක් වන්නේ කෘමිනාශක, රසායනික පොහොර යෙදූ ආහාර අනුභව කිරීමයි. එවිට සෘජු ලෙසින්ම විෂ නාශක ද්‍රව්‍ය අපට ශරීරගත වනවා. එයින් ඇතිවන අතුරු ඵලයක් ලෙස අපි ඉක්මනින්ම රෝගීන් බවට පත් වනවා.

කෘමිනාශක නොයෙදූ එළවලු පළතුරු මිලදී ගැනීමට ලංකාවේ පාරිභෝගිකයන්ට කිසිදු හැකියාවක් නැහැ නේද ?

ඔව්. වෙළෙදුන් විසින් අලෙවි කරන ආහාර 90 % ම රසායනික ද්‍රව්‍ය අඩංගුයි. විශේෂයෙන්ම ලස්සනට දැකුම්කලුව තිබෙන එළවලු, පළතුරු වර්ගවල මේ විෂ නාශක ද්‍රව්‍ය බෙහෙවින් ඇතුළත් වෙලා තිබෙනවා. එපමණක් නොවෙයි පළතුරු එළවලු නැවුම්ව (Fresh) තබා ගැනීමට නොයෙකුත් රසායන ද්‍රව්‍ය යොදනවා. (Spray) කරනවා, විශේෂයෙන් ගොවින් අස්වනු නෙලන්නට දින 2 කට පමණ ප්‍රථම දිලීර නාශක, පළිබෝධ නාශක ඉසීම සිදු කරනවා. එවිට කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී පළතුරු, එළවළු ඉතාමත්ම ලස්සනට තබාගත හැකියි. එවැනි එළවලු පලතුරු අනුභව කිරීම නිසා බහුල වශයෙන් රසායන ද්‍රව්‍ය අපේ සිරුරට එක්වී රෝගී තත්ත්වයන් උදා වන්නට පුළුවන්.

එසේ නම් කෘමිනාශක නොයෙදූ පළතුරු එළවලු තෝරා ගන්නේ කෙළෙසද ?

ඇතැම් විට පලා වර්ග වලට පණුවෝ දෂ්ට කර ඇත්නම් එවැනි එළවලු තෝරා ගැනීමෙන් මේ ප්‍රශ්නය බොහෝදුරට විසඳා ගත හැකියි. බොහෝ අය තෝරාගන්නේ ලස්සනට තැම්පත් කරන ලද බැබලෙන එළවලු පලතුරු. මේවා කල් තබා ගැනීමට බෙහෙත් වර්ග යොදා ඇති බව බොහෝ අය දන්නේ නැහැ. බොහෝ දෙනා කෘමින් ආහාරයට ගන්නා ලද කොළ එළවලු ප්‍රතික්ෂේප කරනවා. නමුත් කෘමි සතුන් සපන ලද එළවලු වලට රසායනික ද්‍රව්‍ය යොදා නැතැයි යන තර්කයට අපට එළඹිය හැකියි.

නමුත් අද බොහෝ විට මිලදී ගත හැකි වන්නේ කෘමිනාශක ඉසින ලද එළවලු හා පළතුරුයි. එවැන්නක් මිලදී ගත් විට අප විසින් කළ යුත්තේ කුමක්ද ?

පළමුවෙන් එවැනි එළවලු පළතුරු ටැප් වතුරින් (running water) හොඳින් සොදාගත යුතුයි. පසුව මද රස්නය ඇති ජලයෙන්ද හොඳින් පිරිසිදු කර ජලයේ ගිල්වා සුළු වේලාවක් තබන්න. පිසදා අවම වශයෙන් පැය 24 ක් වත් ශීතකරණයේ තැබිය යුතුයි. එවිට රසායන ද්‍රව්‍ය විනාශවී යනවා.

එළවලු පලතුරු බොහෝ වෙලාවක් ජලයේ බහා තැබීමෙන් එහි පෝෂණය නැතිවී යනවානේද ?

ඔව්. සම්පූර්ණ වශයෙන් පෝෂණ ගුණය ඉවත්වී යන්නේ නැහැ. එය සිදු වන්නේ අවම වශයෙන්. පෝෂණ ගුණය ආරක්ෂා කරන්නට ගොස් වස විස අනුභව කිරීමෙන් සිදු වන්නේ ඊට වඩා හානිදායක තත්ත්වයක්. මෙතනදී අපි සිතිය යුත්තේ සිරුරට ලැබෙන විටමින්ද ප්‍රමාණයට වඩා සිරුරට සිදුවන හානියද අවම කර ගැනීමයි වඩාත් හානිදායක වන්නේ රසායන ද්‍රව්‍යයි. ඒ නිසා අප විසින් එය හැකිතාක් දුරට විනාශ කළ යුතුයි. මෙම එළවලු ශීතකරණයේ තැබීමෙන් සිදුවන්නේ උෂ්ණත්වය අවම වීමෙන් එහි ඇති රසායන ද්‍රව්‍ය්‍ය විනාශ වීමයි.

අනිත් කරුණ නම් ආහාර පිසීමේදී විනාඩි 20 පමණ වෙලාවක් මේ ආහාර පිස ගත යුතුයි. එවිට මේ රසායන ද්‍රව්‍ය විනාශ වී යනවා. බොහෝ වේලාවක් පිසීමේදී පෝෂණ ගුණය අවම වන බව ඇත්ත. ඒත් විෂ රහිත ආහාර අනුභව කිරීම ඊට වඩා භයානක ප්‍රතිඵල ලබා දෙනවා.

පෝෂණ ගුණය වැඩි වශයෙන් ලබා ගැනීමට පෝෂණවේදීන් බොහෝ විට පවසන්නේ එළවලු පිසීමෙන් තොරව සලාද වශයෙන් අනුභව කිරීම වැදගත් බවයි. මේ තත්වය අනුව සලාද වශයෙන් අනුභව කිරීම යෝග්‍ය වන්නේ නැද්ද ?

නිවසේ වවාගත් රසායනික පොහොර කෘමිනාශක නොයෙදූ එළවලු අනුභව කරන්නේ නම් වඩාත් යෝග්‍ය වන්නේ සලාද වශයෙන් අනුභව කිරීමයි. එහෙත් වෙළඳ පොලෙන් මිලදී ගන්නා ලද කෘමිනාශක ද්‍රව්‍ය ඉසින ලද එළවලු ආහාරයට ගන්නේ නම් සලාද වශයෙන් අනුභව කිරීමෙන් වැළකිය යුතුයි. හැකිතාක් එවැනි එළවලු වර්ග පිසීමෙන් පසු අනුභව කිරීම වඩාත් හොඳයි. හේතුව පිසීමේදී විශ නාශක රසායන ද්‍රව්‍ය විනාශ වන නිසා.

විශේෂයෙන්ම අමු මිරිස් සලාද වලට යොදා හෝ අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැළකීම හොඳයි. ඇතැම් ගොවීන් අමු මිරිස් නෙළන්නට පෙර දින පවා රසායන ද්‍රව්‍ය මාලු මිරිස් අමු මිරිස් වලට විදිනවා. ඒ නිසා ඒ තත්ත්වය අතිශයින් භයානකයි. අමු මිරිස් මාලු මිරිස් පවා ටැප් වතුරින් සෝදා අනතුරුව මද රස්නය වතුරේ ටික වේලාවක් තබා පසුව පැය 24 හෝ ඊට වැඩි කාලයක් ශීතකරණයේ තබා අනුභව කිරීමෙන් විෂ ද්‍රව්‍ය අපේ සිරුරට ඇතුල්වන ප්‍රමාණය 70 % කින් පමණ අවම කළ හැකියි. වර්තමානයේ අපේ බෝග වලට ඇතිවී තිබෙන තත්වය දෙස බැලූ විට පෝෂණ ගුණයට වඩා වැදගත් විය යුත්තේ රසායන ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීමයි.

කොහිල නෙළුම් අල පිළිබඳවත් යම් යම් කරුණු කාරණා පවසනවා. එහි සත්‍යයක් තිබෙනවාද ?

කොහිල නෙළුම් අල කන්කුන් ආදිය සරුවට වැඩෙන්නේ ජලය ආශ්‍රිත ස්ථානවල. බෝග වලට රසායන ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම රසායන ද්‍රව්‍ය ජලය සමග එකතු වනවා.

මෙවැනි ජලය රැඳෙන ස්ථානවල වවන නෙළුම් අල කොහිල දඬු වලට ඉතා ඉක්මනින් මේ රසායන ද්‍රව්‍ය උරා ගන්නවා තැන්පත් වනවා. ඒ නිසා එවැනි ආහාර අනුභව කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් අපවිත්‍ර ස්ථානවල වවන කන්කුන් වල රසායන ද්‍රව්‍ය එකතුවීමේ ප්‍රතිශතය ඉතා විශාලයි. ගමක එළවලු කොටුවල ඒ තත්ත්වය නොවන්නට පුළුවන්.

උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top