පෙනුම බලා හැමදේම කියන දේහ ලක්ෂණ විද්‍යාව ගැන ඔබත් දැනගන්න කැමතියිද..?
ගොඩක් වෙලාවට දේහ ලක්ෂණවලින් මේ වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන් කියලා ඔබ දැනටමත් දන්නවා ඇති..
ඕනෑම ජන්මියකු සතා සිවුපාවා පවා උපත ලබනුයේ ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී වූ පංචේන්ද්‍රියන් ද සහිතවයි... නමුත් මෙම ඉන්ද්රියන්හි ස්වභාවය අනුව එක් එක් පුද්ගලයා අතර වෙනස්කම් පවතිනවා... එම ඉන්ද්රියන්හි පිහිටීම පිළිබඳව යම් විග්‍රහයක් කිරීම දේහ ලක්ෂණ විද්‍යාවේ දී සිදුකරනු ලබනවා... මෙහිදී ශරීරාංග යම් වර්ග කිරීමක් සහිතව විග්රහ කිරීම සිදුකරනවා...
ශරීරාංග පමණක් නොවෙයි ඔබේ ගමන් විලාසයෙන් පවා ඔබේ චරිත ලක්ෂණ පැවැසීමේ හැකියාව තිබෙනවා...
එක් එක් ජන්මින්ගේ දේහ ලක්ෂණ වල විවිධත්වය මත ඇතිවන වෙනස්කම් මෙතැන් සිට අප විමසා බලමු...
හිසකෙස් වල විවිධත්වය මත පුද්ගල ගති ලක්ෂණ :-
ඉත්තෑකූරු වන් හිසකෙස් ඇති අය
ඉත්තෑකූරු වන් හිසකෙස් ඇති ස්ත්‍රී හෝ පුරුෂ මේ ඕනෑම අයෙකු තුළින් හිසකෙස් පිහිටි ආකාරයටම නොනැමෙන ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. කාටවත් යටත් වීමට කැමති නැත. අන් අයගේ උපදෙස් පිළිපැදීමට අකමැතිය. අහංකාර ගති ලක්ෂණ සහිතය. තමා මවාගත් පණ්ඩිත ස්වභාවයෙන් සමාජයේ ජීවත් වන්නට උත්සාහ කරයි.
කුඩා කැරලි සහිත හිසකෙස් සහිත අය
මෙවැනි හිසකෙස් සහිත ජන්මීන්ට තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ උසස් තනතුරු සහ උසස් තත්වයකට පත්වීමේ භාග්‍යය හිමිය. මෙවැනි හිසකෙස් තමන්ට ආකාරයට නැමෙන්නා සේම මෙවැනි හිසකෙස් ඇති ජන්මීන් ද ඉතා ළාමක සිතිවිලි ඇති අය වේ.
මුඛයේ පිහිටීම අනුව ඉන් කියැවෙන ලක්ෂණ විවිධය.
ඇතැම් අයගේ මුඛය ඉතා කුඩාය. තවත් අයගේ මුඛය තොල් වල විශාලත්වය නිසා වැසිය නොහැකිය. ඕනෑම වෙලාවක යම් මට්ටමකට හෝ විවෘතව පවතී. ඇතැම් අයගේ මුඛය සියුම් තොල් සහිතව දිගටි ආකාරයට පිහිටයි.
එල්ලෙන තොල් සහිත තොල් වැසිය නොහැකි ආකාරයට යම් මට්ටමකට හෝ මුඛය විවරව පවතින අය අල්ලාප සල්ලාප හෝ දොඩමින් කාලය කා දැමීමට ප්‍රිය කරයි. තමන්ගේ ජීවිතයේ උසස් මට්ටමකට පත්වීමට හෝ සැප විඳීමට, අධ්‍යාපනය, රැකියාව ආදිය පිළිබඳව හෝ නිශ්චිත අරමුණක් සහිතව ක්‍රියාකරනවාට වඩා අල්ලාප සල්ලාප කියමින් කාලය කාදැමීමට උත්සාහ කරයි. තමන්ගේ ජීවන තත්වය ගොඩනඟා ගැනීමට මුසා බස් පවසන චරිත බවට පවා පත්විය හැකිය.
දිගටි මුඛයක් සහිත ජන්මීන් සමාජයේ ජීවත්විය හැකි ආකාරයට බුද්ධියක්, අධ්‍යාපනයක් ගොඩනඟාගන්නා අය වේ.කියන්නට තිබෙන දේ කෙලින්ම කියයි. මෙවැනි මුඛයක් සහිත කාන්ත ආශාවන්ගෙන් සෑහීමකට පත් නොවන ස්වභාවයෙන් යුක්තයි. දිගටි මුඛයක් සහිත වූවත් ඇස්, කන්, හිසකෙස්, නාසය ආදී වූ අනෙකුත් ශරීර කොටස් යහපත් ආකාරයට පිහිටියේ නම් එහි බලපෑම තුළින් ඇතිවිය හැකි ගැටළු මඟහැරී යයි.
නාසයේ පිහිටීම අනුව පුද්ගල ගති ලක්ෂණ :-
සෘජු නාසය
සිහින් සහ දිගටි නාසයක් සහිත ජන්මීන් කොතැනක ඉපදුනත්, දුගී දුප්පත්ව සිටියත්, ගල් පොත්තක් මත ඉපදුනත්, අධ්‍යාපනය ලැබූවත් නොලැබූවත් තමන්ගේ ඥාණය මෙහෙයවා තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ උසස් මට්ටමකට පත්වීමේ හැකියාව පවතී.
ගිරා හොටක් වැනි නාසය :-
නාසයේ ඉදිරිපස කොටස පහතට හොඳින් නැමී ගිරා හොටක් ආකාරයට පිහිටා ඇත්නම් එවැනි ජන්මීන් ඉතා ධාර්මිකය.තමන්ගේ ඥාණය මෙහෙයවා තමන්ගේ ජීවිතයට වඩා තමන් උපන් රටට පළාතට තමන්ගේ පරම්පරාවට යහපතක්, සේවයක් කිරීමට උත්සාහ දරයි.
මොක්කන් නාසය :-
නාසයේ ඉදිරිපස කොටස ලොකුවට තිබෙන බැලූ බැල්මට සිදුරු දෙක පෙනෙන නාසයක් සහිත ජන්මීන් ඕපාදූප කීමට ප්‍රිය කරයි. තමන් කුමන තත්වයක ඉපදුනත් උසස් තත්වයක සිටියත් අල්ලාප සල්ලාප වල යෙදෙන සහ ප්‍රයෝජනයක් නොමැති කාර්යයන් වල යෙදෙන අය වේ. සැප සම්පත් සහ දියුණුව ළඟා කර ගැනීම අසීරු බවට පත්වේ.
අලි නාසය :-
නාසයේ ඉදිරි කොටස විශාලව පිහිටන නාසයක් සහිත ජන්මීන් ඉතා ධර්මිකව ජීවත් වනවා මෙන්ම පෙර පින් පල දෙන චරිත වේ. කුමන තත්වයක, තරාතිරමක උපත ලැබුවත් මෙවැනි ජන්මීන්ට බලාපොරොත්තු නොවූ ආකාරයේ සැප සම්පත් ලැබ උසස් සහ ගෞරවනීය තත්වයකට පත්වීමේ හැකියාව පවතී.
දත්වල පිහිටීම අනුව පුද්ගල ගති ලක්ෂණ :-
නල දත්
ඇතැම් ජන්මීන්ගේ දත් උඩින් තවත් දත් පිහිටයි. එවැනි ජන්මීන්ට තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ සැප සම්පත් ළඟා කර ගැනීමට වාසනාව පවතී.
සල්ලි කඩොල්ල
ඇතැම් ජන්මීන්ගේ ප්‍රධාන දත් දෙක මැද හිඩැසක් දැකිය හැකිය. එවැනි ජන්මීන්ට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මුදල් හදල් ලැබේ. මෙවැනි දන්ත පිහිටීමක් සහිත අයගේ ආශාවන් බහුල වේ.
මුතු ඇට වැනි දත්
මුතු ඇට වැනි දත් සහිත ජන්මීන් තමාට කුමන කරදර බාධක එල්ල වූවත් සමාජයේ යම්කිසි මට්ටමකට පත්වීමට උත්සාහ දරන එම උත්සාහය තුළින් ජයග්‍රහණය ලබා ගන්නා අය වේ.
අලි දත්
උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් ලොකුවට පිහිටා ඇති අය ආත්මාර්ථකාමී චරිත ලක්ෂණ වලින් හෙබියි.
ඇස් වල ස්වභාවය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
අලි ඇස්
මෙවැනි ස්වභාවයෙන් ඇස් පිහිටා ඇති ජන්මීන් තමන්ගේ දියුණුව මෙන්ම අනෙකාගේ දියුණුවද අපේක්ෂා කරයි. දැහැමි දිවිපෙවෙතක් නිසාම ජීවිතයේ අවසන් මොහොත තෙක්ම වාසනාවන්තව ජීවත් වීමේ භාග්‍යය හිමිය.
දිගටි ඇස්
මානෙල් මල් පෙත්තක හා සමාන ඇස් ඇති ජන්මීන් කලාත්මක පැත්තට බරය. ජීවිතයේ අවසානයට පෙර කෙටි කලක් හෝ කලා අංශයේ වැඩ කටයුතු වල නිරත වේ.
ගොරොක ලොඳ වැනි ඇස් ( තද රතුපාට ඇස් )
මෙවැනි ඇස් සහිත ජන්මීන් දරුණු ගති ස්වභාව පෙන්නුම් කරයි. යම් කෙනෙකු උදව්වක් කළද එයට ප්‍රතිඋපකාර වශයෙන් කරදර කරයි. ක්ෂණිකව වෙනස් වී දරුණු පැත්තට යොමුවන ගති ස්වභාව පෙන්නුම් කරයි. අධාර්මික පැත්තට යොමු වේ.
කුඩා ඇස් සහ බළල් ඇස්
කළු ඉංගිරියාව දුඹුරු පැහැ ජන්මීන් බළල් ඇස් ඇත්තන් ලෙස හඳුන්වයි. පළමුව තමා සැප සම්පත් විඳ පසුව අනෙකාට උදව් කළ යුතුය යන හැඟීම මෙවැනි ජන්මීන් තුළ ඇත. නිතර ආශාවන් බහුල නිස ලෞකික ආශාවන් තෘප්ත කර ගැනීමට කටයුතු කරයි.
තොල්වල පිහිටීම අනුව පුද්ගල ගති ලක්ෂණ :-
එල්ලෙන තොල්
එල්ලෙන ස්වභාවයෙන් තොල් පිහිටා ඇති ජන්මීන් තමන්ගේ දේ පමණක් හදාගෙන ජීවත් වීමට උත්සාහ කරයි. හිටි හැටියේ අනවශ්‍ය කරදර, බාධක වල පැටලීමට උත්සාහ කරයි. බලාපොරොත්තු නොවූ ආකාරයේ කරදර වලට මුහුණ දීමට සිදුවෙයි.
මිනීමරු තොල්
ඇතැම් ජන්මීන්ගේ උඩු තොල හා යටි තොල එක හා සමානව දිගට පිහිටා ඇත. එවැනි ජන්මීන් හොඳට හොඳ ය. නරකට නරක ය. යා යුතු තැනට යෑමට සහ සමාජයේ උසස් තැනකට පත්වීමට උත්සාහ ගනියි.
කන්වල පිහිටීම අනුව පුද්ගල ගති ලක්ෂණ :-
අලි කන්, කුළු කන්
අලි කන් සහ කුළු කන් පිහිටි අය තමන් කුමන තත්වයක තරාතිරමක උපත ලැබුවත් ළමා සහ යෞවන විය ඉක්මවා ක්‍රමයෙන් පරිණත බවට පත් වූ විට තම හැකියාව සහ තමා කරන කටයුතු මත ජනප්‍රියත්වයට පත්වීමේ වාසනා ගුණය ඇත.
ලම්භකරණ කන්
සිද්ධාර්ථ කුමාරයාට පිහිටියේ ලම්භකරණ කන් ය. මෙවැනි කන් පිහිටා ඇති ජන්මීන් ඉතාම ධාර්මික දිවි පෙවෙතක් ගත කරයි. පින් කුසල් පල දීම මත බලාපොරොත්තු නැති ආකාරයේ වාසි සහගත තත්ව උදාවේ. අන් අයගේ උදව් උපකාර ලැබේ. උසස් තත්වයකට පත්වීමේ භාග්‍යය හිමි ය.
මී කන්
ඇතැම් ජන්මීන්ගේ කන් මීයෙකුගේ මෙන් කුඩාවට පිහිටයි. එවැනි ජන්මීන් උත්පත්තිය කුමක් වුවත් තමන්ගේ ඉලක්කයට කෙසේ හෝ රිංගා ගොස් තමන්ගේ අරමුණු සඵල කරගනී. තමන්ගේ ඥාති ශක්තිය මෙහෙයවා කටයුතු කරයි. ප්රධානත්වයට පත්වීමට උත්සාහ ගැනීම හා හැකියාව පවතී.
ගෙල පිහිටි ආකාරය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
දිගටි ගෙල
මෙවැනි ජන්මීන් තමාට කොතරම් කරදර බාධක එල්ල වුවත් ජීවත් වීමේ හැකියාව ගොඩනඟා ගනී. කලාත්මක පැත්තට බර ජීවන රටාවකට යොමු වීමට ඉඩ ඇත. එතුළින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරයි.
මහත ගෙල
ගෙල මහත නිසා බැලූ බැල්මට ඇතැම් ජන්මීන්ගේ ගෙල වෙන්කර හඳුනා ගැනීමට පවා නොහැකිය. එවැනි ජන්මීන්ට බලාපොරොත්තු නැති ආකාරයේ සැප සම්පත් භුක්ති විඳීමට හිමි වේ. පෙර පින් මතු වේ. තමන්ගේ ඥාන ශක්තිය මෙහෙයවා ජීවන රටාවට අවශ්‍ය දේ ගොඩනඟා ගැනීමේ හැකියාව ඇත. සමාජයේ වැදගත් තත්වයට පත් වේ.
ඇතැම් ජන්මීන්ගේ ගෙලෙහි ඉරි තුලක් (වළලු මෙන්) දැකිය හැකිය. ගෙල මහත මෙන්ම ගෙලෙහි ඉරි තුන මතුවන ජන්මීන්ටද සමාජයේ උසස් තත්වයකට පත්වීමේ භාග්‍යය ඒකාන්තයෙන්ම හිමි ය. සැප සම්පත් විඳීමේ අවස්ථාව හිමි වේ. ඉතාම වාසනාවන්තය.
දෑත පිහිටි ආකාරය සහ හස්ත රේඛා අනුව පුද්ගල ගති ලක්ෂණ :-
කාන්තාවන්ගේ නම් වම් අතේ ත්, පුරුෂයකුගේ නම් දකුණු අතේ ත් වෙඳැගිල්ලේ පළමු පුරුක අභිබවා සුලැඟිල්ල පිහිටියා නම් එවැනි ජන්මීන් කුමන තරාතිරමක, කුමන කුලයක, කුමන ආගමක උපත ලැබුවත් සමාජයේ ඉතාම උසස් තත්ත්වයකට පත්වීමට වාසනා ගුණය හිමිය. ඕනෑම අයෙකුට මානුෂීය වශයෙන් උදව් කිරීමට කැමති චරිත බවට පත්වේ.
යම් ජන්මියෙකුගේ අතෙහි (ස්ත්‍රියකගේ නම් වම් අතෙහි පුරුෂයකුගේ නම් දකුණු අතෙහි ) ළය රේඛාව සුළැඟිල්ලේ පහළ සිට මැදඟිල්ලේ උඩ කොටස දක්වාම දිගට පිහිටා ඇත්නම් එවැනි ජන්මියකු ගල් පොත්තක ඉපදුනත් කුමන තරාතිරමක ඉපදුනත් තමා බලාපොරොත්තු නොවූ අවස්ථාවක සමාජයේ උසස් ම තත්ත්වයකට පැමිණීමට වාසනා ගුණය ඇත.
දබරැඟිල්ලත් සුළැඟිල්ලත් අතර මැණික් කටුවට දිවෙන රේඛාව ලෙස හඳුන්වනවා. එම රේඛාව දිගට ම පිහිටා ඇත්නම් එම ජන්මියාට යම්කිසි සැලකිය යුතු මට්ටමේ ආයුෂ ප්‍රමාණයක් ඇත.
එම රේඛාව හරහට තද ඉරි වලින් කැපී ඇත්නම් එවැනි අයෙකුට රේඛාව කැපුනාක් මෙන් තම ජීවිතයේ විවිධ අනතුරු, වැටීම්, තැලීම්, සීරීම්, කැපිලි කෙටිලි හෝ ශල්‍යකර්ම ආදියට මුහුණ දීමට සිදුවේ.
මෙවැනි ජන්මියෙකුගේ මැදඟිල්ලේ උඩ පුරුක සුලඟිල්ල දෙසට නැමී ඇත්නම් එවැනි අයට නීතිය පිළිබඳ හැදෑරීමේ හෝ ඒ ආශ්‍රිතව වෘත්තියක නියැලීමේ වාසනා ගුණය ඇත. නැතිනම් නීතියෙන් දඬුවම් විඳීමට හෝ සිදුවනු ඇත.
විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඟිලිවල මෙවැනි පිහිටීමක් තිබේ නම් විවාහ ජීවිතයේ යම් යම් ගැටලු මතු විය හැකියි. එම නිසා දෙපාර්ශයම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
හතරැස් අල්ල
හතරැස් අල්ලක් සහිත ජන්මීන් කාර්මික අංශය ඉංජිනේරු අංශය ආදියට වැඩි නැඹුරුවක් දක්වයි.
මසින් පිරුණු අල්ල
මෙවැනි ජන්මීන්ට ඒකාන්ත වශයෙන්ම උසස් ආර්ථික තත්වයක් සහ සම්පත් විඳීමේ භාග්‍යය හිමිය. ආශාවන් බහුලය.
අල්ලේ වළ ගැසුණු මසින් නොපිරුණු දෑත් සහිත ජන්මින් සතුව කොතෙක් මුදල් ගැවසුනද ඉතිරියක් නොමැතිවීමේ ස්වභාවය දැකිය හැකිය.
පාද පිහිටි ආකාරය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
පාදය පොළොවට තැබූ විට පාදයේ ඉදිරිපස කොටස හා පසුපස කොටස පොළොවට ස්පර්ශ වී මැද හිඩැසක් සහිත වේ නම්, එවැනි ජන්මීන් ලෞකික ආශාවන් සහ පංචේන්ද්‍රියන් පිනවීම කෙරෙහි වැඩි ආශාවක් දක්වයි. ආශාවන් වෙනුවෙන් කැපවුණු චරිත වේ.
පාදය පොළවට තැබූ විට පාදයේ ඉදිරිපස සහ පසුපස කොටස සම්පූර්ණයෙන්ම පොළොවට ස්පර්ශ වනවානම් එවැනි ජන්මීන් ආශාවන්ට වහල් නොවී ධාර්මික ජීවිතයක් ගත කරන ජන්මීන් වේ.
යම් ජන්මියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල, දබරඇඟිල්ල, මැදඟිල්ල, වෙදැගිල්ල සහ සුළැඟිල්ල එක සමානව පිහිටා ඇත්නම් එවැනි ජන්මීන් නිවුණු, ධාර්මික පැත්තට නැඹුරු වූ චරිත වේ.
යම් ජන්මියෙකුගේ පාදයේ සුළැඟිල්ල අභිබවා වෙදැඟිල්ල ඉදිරියට තිබෙනවා නම් එවැනි ජන්මීන් විශේෂයෙන් කාන්තාවන් කිසිම අයෙකුට යටත් නැති චරිත බවට පත්ව තමන්ගේ ආධිපත්‍යය ගොඩ නඟා ගැනීමට උත්සාහ කරයි.
නියපොතු පිහිටා ඇති ආකාරය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
සිංහ නිය
සිංහ නිය තිබෙන ජන්මීන් සමාජයේ කුමන තරාතිරමක සිටියත් උසස් අයගේ පවා ගෞරවයට පාත්‍ර වේ.
ඇත් නිය
ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඇත් නිය සහිත ජන්මීන් සමාජයේ වැඳුම් පිඳුම් ලබන බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගෞරවයට පාත්‍ර වන චරිත වේ.
සුනඛ නිය
සුනඛ නිය සහිත අය සමාජයේ උසස් කුලයක උපත ලැබුවත්, රජ පවුලක උපත ලැබුවත් ධනවත්ව සිටියත් ගැටළු රාශියකට මුහුණ පෑමට සිදුවේ වැටීම්, තැළීම් වලට ලක්වීම සහ සමාජයෙන් කොන් වීමට සිදු වේ. නිය මෙලෙස පිහිටියත් අනෙක් ශරීරාංග යහපත් ලක්ෂණ සහිතව පිහිටියේ නම් ගැටළු මඟහැරී යනු ඇත.
රෝම කූප පිහිටා ඇති ආකාරය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
ඇතැම් ජන්මීන්ගේ ශරීරයේ රෝම කූප පිහිටා නැති තරම්. එවැනි ජන්මීන් පිළිබඳව වැඩි විශ්වාසයක් තැබිය නොහැකියි. විශේෂයෙන් පිරිමි පාර්ශවයේ මෙවැනි අය තුළ වෛර කිරීම, විරුද්ධකම් කිරීම ආදියට සැදී පැහැදී සිටින චරිත ස්වභාවයක් දැකිය හැකියි.
සම්පූර්ණ ශරීරයේ පපු පෙදෙස පිටුපස පෙදෙස ආදී වශයෙන් ශරීරයේ රෝම පිරුණු ජන්මීන් මනුස්සකම හඳුනන අන් අය වෙනුවෙන් උදව් උපකාර කළ යුතු ය යන සිතුවිල්ලෙන් සිටින චරිත වේ. ඔවුන් ධාර්මිකව දිවි පෙවතක් ගත කරයි.
ඇතැම් කාන්තාවන්ගේ අත් පාවල මුහුණේ මෙන්ම උඩු තොල් මතද රෝම කූප බහුලව පිහිටා තිබෙනවා. එවැනි කාන්තාවන් කිසිම කෙනෙකුට යටත් වීමට කැමැති නැත. පිරිමි පාර්ශවයට වුවත් ඇඟිල්ල දිගුකර කතා කිරීමේ හැකියාව ඇත. තමා නිවැරදි ජන්මියෙකු වන අතරතුරේ කිසිදු අයෙකුගේ උපදෙස් පිළිපැදීමට කැමති නැත.
ගමන් විලාසය අනුව පුද්ගල ගති ලක්ෂණ :-
ඇත් ගමන
ඇතැම් ජන්මින් ඇවිදින විට පොළවට බරව සහ සෙමින් අඩිය තියමින් ඇතෙකුගේ ගමන් විලාසයක් පෙන්නුම් කරනවා. ඇත් ගමන සහිත ජන්මීන් තුලින් කලබල නැති නිවුනු ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. සමාජයේ ගරුබුහුමන් ලබන චරිත බවට පත් වේ.
සිංහ ගමන
ඇතැම් ජන්මීන් සිංහයකුගේ ගමන් විලාස අනුගමනය කරයි. ඔවුන් සමාජයේ ඉදිරියට ගමන් කරයි. යන එන ගමන බිමනේදී පවා අනෙක් අය පසෙකට වී එවැනි අයට මඟ විවර කර දෙයි.
ඉබි ගමන
මෙවැනි ගමනක් සහිත ජන්මීන් තමන්ට කවර කාර්යයක් පැවරුනත් සෙමින් ගමන් කරයි. වගකීම් පැහැර හරින රාජකාරිය පවා නිසි ලෙස කළ නොහැකි ලක්ෂණ පෙන්නුම් කරයි.
සුනඛ ගමන
සුනඛයෙකු ගේ ගමන් විලාශය අනුගමනය කරයි. කරදර, බාධක, හදිසි අනතුරු ආදියට බහුලව මුහුණ පෑමට සිදුවේ.
අන්තර්ජාලය ඇසුරෙන්...