උඳු ගැන දැනගෙන හිටියද ? කියවලාම බලන්නකෝ..,
Tuesday, 31 October 2023 - 11:09 | Views - 3,406

උඳු ගැන තොරතුරු , කියවලාම බලන්නකෝ..,
ඔව්, උඳු කියන්නේ අගනා ඖෂධාහාරයක්. ආහාරයක් විදියට තෝසේ, වඩේ, ඉඩිලි, ආදී කෑම වර්ග කිහිපයක්ම සකස් කරනවා. ඒවගේම ඖෂධයක් විදියට උඳු ඇට කෂාය, තෙල්, චූර්ණ ආදියට යොදාගනු ලබනවා.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ලිංගික ශක්තිය පිළිබඳ කියැවෙන වාජීකරණ තන්ත්‍රයේ ගනු ලබන ආහාර සහ ඖෂධ අතර උඳුවලට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක්. ශරීරයේ ස්නායු දුර්වලතා, සප්තධාතු දුර්වලතා ආදියේදි බලය, ශක්තිය, වර්ධනය කරන ඔසුවක් විදියට උඳු යොදා ගනු ලබනවා. ඒ වගේම උඳුවලින් හදන ඖෂධත් බොහෝ තියෙනවා.
එතකොට උඳු ලංකාවේ හැදෙනවද?
ඔව් ලංකාවෙ වැවෙනවා. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල වවනු ලබනවා. විශේෂයෙන් පහතරට තෙත් කලාපය උඳු වගාවට විශේෂයි. විශේෂයෙන් හේන් වගාවේදී අතුරු භෝගයක් වශයෙන් ප්‍රසිද්ධයි.
ඒ වගේම ඉන්දියාවෙත් නොයෙක් ප්‍රදේශවල වවනු ලබනවා. ඒ වගේම ඉන්දියාවේ වාසය කරන බොහෝ දෙනෙක් බහුල වශයෙන් විවිධ ආහාර සඳහා එක්කර ගනු ලබනවා.
එතකොට උඳු පැළෑටිය මොන වගේද ?
උඳු යනු මුංවලට සමානව වැඩෙන් පැළෑටියක්. එසේම එය සෙ.මි.30 සිට 60 අතර උසකින් යුතු බවත් මෙම පැළෑටියේ පත්‍ර මුං පත්‍රවල ආකාරයටම එක නටුවකට පත්‍ර 3ක් තිබෙන බවත් මේ පැළෑටියේ කඳ පුරාම බූව පවතින බවත්ය. පැළෑටියේ සෑදෙන මල් කහ පැහැ බවත් කරල් සෙ.මි. 5ක් පමණ දිගින් යුතු බවත් කරල් පුරාම බූව ඇති බවයි.
උඳු හඳුන්වන වෙනත් නම් මොනවද?
සංස්කෘත භාෂාවෙන් මාෂ යනුවෙන් ද හින්දි බසින් උරිද් සහ උර්ද් යනුවෙන්ද හඳුන්වනු ලබන බවත් වංග බසින් මාෂ කලාය යනුවෙන් සහ දෙමළ බසින් උළුදු ලෙස හඳුන්වනු ලබනවා.
එසේම උඳුවල උද්භිද විද්‍යාත්මක නාම Phasedus Mungo Linn සහ Vigna Mungo වන අතර කුලය LEGUMINOSEAE හෙවත් ශිම්බී කුලයයි. ඒ වගේම ඉංග්‍රිසි බසින් උඳුවලට කියන්නේ Black gram කියලයි.
උඳු ආහාරමය වශයෙන් වැදගත් වෙන්නේ කොහොමද?
උඳු ලංකාවටත් වඩා ඉන්දියාවේ ආහාර විදියට ගන්නවා. විශේෂයෙන් තෝසෙ, උළුඳු වඩේ, උඳු වැල් වගේ ආහාර ඉන්දියාවේ බහුල වශයෙන් ආහාරයට ගනු ලබනවා.
මේ ආහාර සඳහා ඉන්දියාවේ වෙනත් නාමයන් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ තල උඳු සහ ගිතෙල් තමයි බහුල වශයෙන් ආහාර සඳහා යොදා ගනු ලබන්නේ.
ලංකාවෙත් සෑම නගරයකම පාහේ සයිවර් කඩ තියෙනවා. ඒවායින් බොහෝදෙනා තෝසෙ, වඩේ, ඉඩ්ලි ආහාරයට ගන්නවා. ඒ වගේම උඳු වැල්, උඳු පිටි කැඳ ආදියත්. ජනපි‍්‍රය ආහාර වර්ග. ඒවා බොහෝවිට නිවසේදිම සාදා ගනු ලබනවා. ඒ සඳහා අවශ්‍ය උඳු පිටි වෙළෙඳ පොළේ තියෙනවා. ඒවගේම කොළඹ වගේ නගරවල ඉන්දියන් රස කැවිලි කඩ බොහෝ සෙයින් තියෙනවා. ඒවායේ උඳු වලින් සාදපු රස කැවිලි බොහෝමයක්ම තියෙනවා.
උඳුවල මොන පෝෂ්‍ය පදාර්ථද වැඩිපුර තියෙන්නෙ උඳු කියන්නෙ ධාන්‍ය වර්ගයක්. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන්නෙ.
උඳු කියන්නෙ ඉතාමත් පෝෂ්‍යදායක ධාන්‍ය වර්ගයක්.
උඳු ඖෂධීය වශයෙන් කොහොමද වැදගත් වෙන්නෙ ?
උඳු පක්ෂාඝාත වැනි වාත රෝගවලට ඉතා විශිෂ්ට ඔසුවක්. එසේම ස්නායු දුබලතා, සප්ත ධාතු දුබලතා ආදියට අතිශයින් ගුණ ගෙන දෙන ඔසුවක්. ලිංගික දුබලතා සඳහා ද විශේෂයෙන් ගුණදායක ඔසුවක්.
පක්ෂාඝාත ඇතුළු වාත රෝගවලට දශමූල, බැබිල, උඳු කෂාය ඉතා ගුණදායක බවද ලිංගික දුබලතා සඳහා ගිතෙල් යොදා පිසූ හැටදා සහල් බත උදු හොද්ද සමඟ කා කිරි බීම ඉතා සුදුසු යි.
එසේම ශරීරයේ වියළි බව නැසුමට අමුක්කරා, උඳු, තල චූර්ණය මී පැණි සහ ගිතෙල් සමඟ ලේහය ඉතා ගුණදායක ය. ඒ වගේම උඳු අඩංගු තවත් ඖෂධ කිහිපයක්ම සංස්කාරික ඖෂධ වශයෙන් ගන්න පුළුවන්.
ඒ අතර මාෂ බලා ක්වාථයාෂාත්ම ගුප්තාදී ක්වාථය, මාෂාදී චූර්ණය, මහාමාෂ තෛලය, මාෂ තෛලය ආදිය ප්‍රධානයි. මේ අතරින් මහාමාෂ තෛලය, පක්ෂාඝාත රෝගයේදි ගෑමට, බීමට සහ නශ්‍ය කිරීමට ඉතා හොඳ තෙලක්. ඒ වගේම ස්නායු ප්‍රකෘතිමත් කරන්න ඉතාම හොඳ තෙලක්.
උඳු කියන්නෙ ඉතා විශිෂ්ට ඖෂධයක් . ශක්තිය, බලය වඩන දිව්‍ය ඖෂධයක් . මේ වගේ ධාන්‍ය වර්ග ආහාරයට අරගෙන තමයි අතීතයේ අපේ මුතුන් මිත්තෝ ලොකු ලොකු වැඩ කළේ. වැඩි වැඩියෙන් දරුවන් හැදුවේ. ඒ නිසා උඳු වගේ ධාන්‍ය නිතර ආහාරයට ගත්තොත් නිරෝගී බව වගේම ශරීරි ශක්තියත් ලැබෙනවා.
Share This Article