සුරතලෙක් ඉන්නවා නම්, අවදානම වැඩියි.. කියවලාම බලන්න..
Saturday, 30 September 2023 - 16:12 | Views - 1,345
සුරතල් සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා... 

ඒත් එක්කම සත්තු නිසා කොච්චර ලෙඩ රෝග වැළඳුනත් ඒ ගැන සලකන්නේ නැති පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා... 

ඒ සත්තුන්ට තියන ආදරය නිසා කියලා කාටහරි කියන්න පුළුවන්.. ඒත් එක්කම ඒ ආදරය නිසා කවදාවත් තමගේ ජීවිතයට අනතුරක් ඇති කරගන්න එපා... ඒ නිසා ඔබත් මේ ලිපිය කියවන්න....

සතුන් සපා කෑම නිසා එන්නත්කරණය සඳහා රෝහල් රෝහල් ගත වන පුද්ගලයින් ගණන දිවයිනේ සෑම දෙසකම පාහේම වාර්ෂිකව ඉහළ අගයක් ගන්නවා....

නමුත් අතරින් පතර ඉහත ආකාරයේ නොසලකහැරීම් නිසා ජලභීතිකා අවදානමට ලක්වන රෝගීන් ද සිටිනවා. මේ සඳහා හේතුවන සපාකෑම් අතර සුනඛයන්, බළලුන් සපාකෑම් ප්‍රමුඛ වනවා....

මීට අමතර ව වෙනත් කැලෑ සතුන් ද මීට අදාළ වනවා..,..

???? ජලභීතිකා එන්නත් ලබා ගත යුත්තේ කුමන සත්ව වර්ග වල සපාකෑම් නිසාද?
ජලභීතිකා අවදානමක් පවතින්නේ ක්ෂීරපායි සත්වයන් නිසා ඇතිවන සපාකෑම් තුළිනුයි. සුනඛයන් සහ බළලුන් නිසා ඇතිවන සපාකෑම් හා සීරීම් මේ අතර වඩාත් සුලභ වනවා. මීට අමතරව,
• උගුඩුවන්
• මුගටියන්
• ඌරු මීයන්
• ලේනුන්
• දඬු ලේනුන්
• ගවයන්
• එළුවන්
• රිළවුන්
• වඳුරන්
• හාවුන්
නිසා ඇතිවන සපාකෑම් හෝ සීරිම් ද නිතර වාර්තා වෙනවා.
???? සපාකෑමකට ලක් වූ පසු පළමුවෙන්ම ගත යුතු පියවර මොනවාද?
• හොඳින් සබන් ගා තුවාලය සෝදන්න.
• ගලායන ජලයට විනාඩි 5ක් පමණ අල්ලා සිටින්න.
• එන්නත් ලබා දී ඇති සතෙක් නම් එම වාර්තා ද සමඟ වහාම රජයේ රෝහලක් වෙත වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න.
• අයාලේ යන සතෙක් නම් අවට පුද්ගලයන්ගෙන් සතා ගේ හැසිරීම රෝගී ලක්ෂණ තිබුණේද, වෙනත් පුද්ගලයන්ද සපා කා ඇත්දැයි යන්න පිළිබඳව මදක් විපරම් කර දැනගන්න.
???? එන්නත්කරණය පිළිබඳව ඔබ දැන සිටිය යුතු කරුණු මොනවා ද?
සපා කෑමට ලක් වූ වහාම ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුයි. එන්නත්කරණය අවශ්‍යද, එසේ නම් කුමන එන්නත් වර්ගයද යන්න ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කෙරෙනු ඇති. මේ සඳහා යොදාගැනෙන නිර්ණායක ලෙස,
• අයාලේ යන සතෙක් ද, වන සතෙක් ද, සුරතලයට ඇති කරන සතෙක් ද යන වග.
• සතාට එන්නත් ලබාදී ඇතිද, එසේනම් ලබාදී ඇති වාර ගණන හා කාලවකවානුව.
• සතාගේ හැසිරීමේ ස්වභාවය.
• තුවාලයේ ගැඹුර.
• රුධිර වහනයක් සිදුවුණි ද නැද්ද යන්න.
• ශරීරයේ සපාකෑමට ලක්ව ඇති ස්ථානය.
• අනතුරට ලක්වූ පුද්ගලයාට මීට ප්‍රථම ජලභීතිකාව සඳහා වන එන්නත් ලබා දී ඇතිද, එසේනම් කුමන වර්ගයක් ද, කිනම් කාලයකදීද යන වග.
ආදිය සලකා බැලෙනවා.
???? ජලභීතිකා අවදානමක් ඇත්තේ සපා කෑමක් හෝ සීරීමක් නිසා පමණද?
• සතෙක් විසින් තුවාලයක් මතුපිට ලෙව කෑම.
• සතෙක් විසින් ශරීරයෙන් සියුම් පටක සහිත ස්ථානයක් ලෙවකෑම. (දිව, ඇස ඇතුලත)
• රෝගි හරකෙකු හෝ එළුවෙකුගේ උණු කර නොගත් කිරි පානය කිරීම.
???? අනතුරෙන් දින දාහතරක් යනතුරු ඔබේ අවධානය යොමු විය යුතු කරුණු මොනවාද?
අනතුරට හේතු වුන සතා දින 14ක් යන තුරු ඉතා ප්‍රවේසම් සහගතව රැකබලාගත යුතු වනවා. මෙම කාල පරිච්ඡේදය තුළ පහත සඳහන් කුමන හෝ වෙනසක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම සඳහා හැකි ඉක්මනින් යොමු වීම සිදු කළ යුතු වනවා.
• අසාමාන්‍ය ලෙස බියෙන් මුකු ගැන්වී සිටීම හෝ වෙනත් ඕනෑම හැසිරීමේ වෙනසක්.
• ශරීරය පණ නැති ස්වභාවයක් දැක්වීම.
• මුඛය විවෘතව හනු එල්ලා වැටීම.
• අධික ලෙස සෙම වැගිරීම.
• වෙව්ලීම.
• ඇවිදීමට අපහසු බවක් දක්වමින් පසුපස ගාත්‍රා අද්දමින් යාම.
• කෑම ප්‍රතික්ෂේප කිරීම.
• අසාමාන්‍ය දෑ ආහාරයට ගැනීමට උත්සාහ කිරීම.
• පෙර නොවූ ලෙස, දකින දකින පුද්ගලයා හපාකෑමට පැනීම.
• වමනය
• මලපහ පිට කිරීමේ අසාමාන්‍යතා
• උණ
• රෝගී බව නිසා හෝ නීරෝගීව සිටියත් වෙනයම් අනතුරක් නිසා හෝ සතා මරණයට පත්වීම.
සිදුවීමෙන් දින 14 ක් ගතවනතුරු එන්නත්කරණයට සතා යොමු නොකල යුතු වනවා.
???? දින 21 අතර සතා මියගිය හොත් ගත යුතු පියවර කුමක්ද?
දින 21 තුළ රෝගී බවක් නිසා හෝ වෙනත් අනතුරක් නිසා හෝ අදාල සත්වයා මිය යෑමට ලක්වුණහොත් වළ දැමීමට ප්‍රථම, හිස පමණක් වෙන් කර ගත යුතු වනවා. එම හිස පොලිතින් බෑගයක දමා කොළඹ, බොරැල්ල පිහිටි MRI ආයතනය වෙත පැය 8 ක් ඇතුලත භාර දිය යුතු වෙනවා. පැය 8 ක් ඇතුලත භාරදිය නොහැකි නම්, එම හිස සහිත පොලිතීන් බෑගය වතුර ඇතුල් නොවන පරිදි හොඳින් ගැටගසා අයිස් කැට සහිත අයිස් පෙට්ටියක දමා පැය 24 ක් ගත වීමට පෙර ඉහත ආයතනය වෙත ගෙනවිත් භාර දිය යුතු වෙනවා. මෙවැනි අවස්ථාවක ළඟම ඇති රෝහලට ගොස් වැඩි විස්තර හා උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වනවා. දිවයිනේ සමහර රෝහල්වල ජලභීතිකා මර්ධන අංශ පිහිටුවා තිබෙනවා. එවන් ස්ථාන වලින් මෙම හිස බාරගෙන එය MRI ආයතනය වෙත යොමු කිරීම ද යම් අවස්ථාවලදී සිදු කෙරෙනවා.
මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාළ සතාට ජලභීතිකා රෝගය වැළඳී ඇති දැයි නිශ්චිත කොට හඳුනාගැනීමයි. පරීක්ෂණ වලින් මේ බව සනාථ වුවහොත් නිසියාකාරව ප්‍රතිකාර ලබා දීමත්, ඒ සතා හා ගැටීම් ඇතිවී තිබෙන වෙනත් සත්ත්ව කොට්ඨාශ හෝ මිනිසුන් සිටී නම් ඔවුන් ද නියමිත ප්‍රතිකාර කරා යොමු කරවීමටත් මෙමගින් අරමුණු කෙරෙනවා.
???? සපාකෑමේ අනතුරක් වළක්වා ගන්නේ කෙසේද?
• සතුන් පැටවුන් දමන කාලය හා පැටවුන් රකින කාලය තුළදී වැඩි සැර ගතියක් පෙන්නුම් කරන නිසා ඒ කාලය තුළ දී වඩාත් ප්‍රවේශම් වීම.
• අසනීපයෙන් පෙළෙන ස්වභාවයක් පෙනී යයි නම් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හා කූඩුකර රැකබලා ගැනීම.
• අනතුරකට ලක්ව සිටින සතෙකුට උපකාර කිරීමේ දී සැලකිලිමත් විය යුතුය.
• ආහාර ගනිමින් සිටින සතුන් හැසිරවීමේ දී ප්‍රවේශම් විය යුතුය.
• සතුන්ගේ ආරවුලකදී ඊට මැදිහත් නොවිය යුතු ය.
???? සුරතල් සතුන් ඇතිකිරීමේ දී ඔබගේ සමාජයීය වගකීම් හඳුනනවා ද?
• සති 3 - 5 අතර පළමු ජලභීතිකා එන්නත ලබාදීම.
• දෙවැනි එන්නත මාස 5 - 6 අතර ලබාදීම.
• ඉන්පසු වසරක් පාසා නියමිත දිනට අදාල එන්නත් ලබාදීම.
• එන්නත්කරණ සටහන් සුරක්ෂිතව තබා ගැනීම. අනතුරක් සිදුවූ අවස්ථාවක එම එන්නත්කරණ සටහන් වෛද්‍යවරයකු වෙත යොමුකරවීමට මූලික වීම.
• තමාගේ සුනඛයා සැරනම්, සපාකෑමේ අවධානමක් සහිත නම් කූඩුකර හෝ ගැට ගසා තබා ගැනීම.
• සතුන් ප්‍රවේසම් සහගතව තබාගනිමින් අයාලේ යාමට ඉඩ නොතැබීම.
• එන්නත් නොකරන ලද සතෙක් නම්, අනතුරකින් දින 14කට පසුත් සතා නීරෝගීව සිටී නම් වහාම එන්නත් සඳහා යොමුකිරීම සිදුකල යුතුය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top