කුරහන් ගුලියක් "ගොඩ හොද්දක්' එක්ක කමුද? ශක්තිය වැඩිවෙලා ඈලි මෑලි ගතිය යන්නත් එක්ක..(Photos)
කියන්න යන්නේ පරණ කෑමක් ගැන.
කොහොමත් අපි කොළඹ ඉඳලා ගමේ යද්දි යන්නේ ගෙදරදි අම්මට කියලා හොඳම හොඳ කෑම හදාගෙන කන්නේ.
ඉතින් ගිය සතියේ ගෙදර ගියාට පස්සේ රෑට කන්න හදලා තිබුනෙ කුරහන් ගුලි.
ගොඩාක් අය තලප කියලා කිව්වට මම නම් කියන්නේ ගුලි කියලා.ඒ එක්කම කුරහන් එක්ක කන්න අලකොල (අලගොබ) මාළුවක් එක්ක පරිප්පු හොද්දකුයි,සැරට චිකන් කරියකුයි හදලා තිබුනා.ආසාව වැඩිකමටම ගුලි දෙකක්ම කාපු මම තවත් ගුලියක් අම්මට කියලම ඉතුරු කරගත්තේ උදේට ගොඩ හොද්දක් එක්ක ඒ ගුලිය කනවා කියලා හිතාගෙන.මොකක්ද මේ ගොඩ හොද්ද කියන්නේ.සමහරවිට ගොඩ හොද්ද කියන එක පලාතෙන් පලාතට වෙනස් ඇති.මේ ගොඩ හොද්ද අපේ අම්මා නම් හදන්නේ මෙහෙමයි.වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් අරගෙන(ඔබට අවශ්‍ය සැරකට හදාගන්න පුළුවන්) ඒ කරල් ටික ලිපට දාලා අඟුරුවල පිච්චෙන්න අරින්න.තරමකට පිච්චෙද්දි එලියට අරගෙන දීසියකට දාලා චුට්ටක් වතුර දාන්න.ඊට පස්සේ රතු ලූනු ටිකකුත් අවශ්‍ය පදමට අරගෙන කපලා අර පුච්චපු මිරිස් ටිකටම එකතු කරගන්න,ඊට පස්සේ අවශ්‍ය පදමට දෙහි සහ ලුනු එකතු කරගෙන අතින් හොඳට පොඩි කරගන්න.ඊට පස්සෙ පුලුවන් කුරහන් එක්ක රසට කන්න.ගොඩාක් පරණ ඈයෝ මෙහෙම ගොඩ හොද්ද හදන්නේ කළින් දවසෙ හදපු කුරහන්,නැත්නම් හීල් බත් වගේ දෙයක් කන්න.එයාලා විශ්වාස කරන දෙයක් තමයි ඒ ගොඩ හොද්දෙන් ශක්තිය වැඩිවෙලා,ඈලි මෑලි ගතිය මග ඇරෙනවා කියන එක.අපේ පැත්තේ ගොඩාක් පරන ගොවියෝ මේ ගොඩ හොද්දට දක්වන්නේ ගොඩාක්ම කෑදරකමක්.මමත් ඒ වගේම කෑදරකමක් තියෙන්නෙ.
