කසාදයට තිත ? උපත් අනුපාතයත් පහළට..
Thursday, 15 June 2023 - 10:13 | Views - 1,588
උපත් අනුපාත පහත වැටීම හා ජන විකාස අර්බුදයක් පිළිබඳ රජයේ සැලකිල්ල වර්ධනය කර ඇති විවාහයන් සම්බන්ධයෙන් දශකයකට ආසන්න කාලයක් පැවති පරිහානිය තවදුරටත් වර්ධනය කරමින් චීනය පසුගිය වසරේ එහි අඩුම විවාහ සංඛ්‍යාව වාර්තා කර තිබෙනවා.

චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව 2022 දී යුවල මිලියන 6.83 ක් පමණ විවාහ ඇති බවයි වාර්තා වන්නේ.

එය 2021 දී මිලියන 7.63 ක විවාහ ලියාපදිංචිය හා සැසඳීමේදී 10.5% කින් පමණ අඩු වීමක් පෙන්නුම් කර ඇති අතර අමාත්‍යාංශය සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ආරම්භ කළ 1986 සිට වාර්තා වූ අඩුම අගය ලෙස සැලකෙනවා.

රජයේ දැඩි Covid-19 පාලනයන් තුළ රට පුරා නගර සහ දිස්ත්‍රික්ක රැසක් වසා දැමුණු අතර දෛනික ජීවිතය සීමා කිරීම් රාශියකින් කඩාකප්පල් වීම් නිසා චීනයේ මිනිසුන්ට අසාමාන්‍ය ලෙස අභියෝගාත්මක වසරක දත්ත මෙම විවාහ සම්බන්ධයෙන් නියෝජනය කරනවා.

නමුත් 2013 වසරේ සිදු වූ විවාහ මිලියන 13කට වැඩි ගණන හා සැලකීමේදී 2022 වසරට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් විවාහ අඩු වීම, විවාහ වීම තෝරා ගැනීමට ජනතාව නොපෙළඹීමේ ස්ථාවර අඩුවීමක් පෙන්නුම් කරනවා.

හැකිලෙන ශ්‍රම බලකායෙන් සහ වයස්ගත ජනගහනයෙන් සිදු විය හැකි දැඩි ආර්ථික බලපෑමක් පිළිබඳ විශේෂඥ අනාවැකි මධ්‍යයේ අඩුවන විවාහ සංඛ්‍යාව සහ උපත්වල කැපී පෙනෙන අඩුවීම, බීජිං බලධාරීන්ගේ සැලකිය යුතු අවධානයක් දිනා ගෙන තිබෙනවා.

චීනයේ ජනගහනය වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට 2022 දී හැකිලී ගිය අතර, උපත් අනුපාතය, පුද්ගලයන් 1,000කට උපත් 6.77ක් පමණක් වුණා.

එය 1949 දී කොමියුනිස්ට් චීනය පිහිටුවීමෙන් පසු අඩුම මට්ටමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව චීනය දැන් ඉන්දියාවට පිටුපසින් සිටින්නේ බිලියන 1.4 ක ජනතාවක් සමඟ ලෝකයේ දෙවන වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වෙමින්.

සමාජ සම්මතයන් සහ රජයේ රෙගුලාසි අනුව අවිවාහක ජෝඩුවලට දරුවන් ලැබීම අභියෝගයක් වන රටේ අඩු විවාහ සහ දරු උපත් අතර සෘජු සම්බන්ධයක් චීන නිලධාරීන් දකිනවා.

ඉහළ විරැකියාව සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු චීනයේ තරුණ වැඩිහිටියන්ට බලපාන මූල්‍ය පීඩනයන් මධ්‍යයේ එන පහත වැටීම ආපසු හැරවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තාක්‍ෂණයේ සිට අධ්‍යාපනය දක්වා පුද්ගලික කර්මාන්ත කෙරෙහි පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් සිදු කරන ලද දැවැන්ත මර්දනයක් මෙන්ම වසංගතය අතරතුර ශුන්‍ය කෝවිඩ් පාලනයන් මෙම අභියෝග පුළුල් කරනු ලැබුවා.

Covid-19 සඳහා පක්ෂය දක්වන දැඩි ප්‍රතිචාරය, “අපි අවසාන පරම්පරාවයි” - දැඩි ලෙස පාලනය කරන ලද චීන රාජ්‍යයට දරුවන් බිහි කිරීම ප්‍රතික්ෂේප කිරීම යන වාක්‍ය ඛණ්ඩය සමඟින් සමහර තරුණයින් අතර දේශපාලන අපේක්ෂා භංගත්වය ද විවාහ වීම තෝරා නොගැනීමට හේතු වී තිබෙනවා.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අතර එම ආකල්පමය වෙනස පැහැදිලිව පෙනෙන අතර ඔවුන්ගෙන් සමහරක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය තහවුරු කිරීමේ භූමිකාව නිසා විවාහය ගැන කලකිරී සිටින බව විශේෂඥයෝ පවසනවා.

ස්වාධීන ජන විකාශකයෙකු වන හී යාෆු උපුටා දක්වමින් ග්ලෝබල් ටයිම්ස්, චීනයේ වැඩිවන විවාහ වයස, සමස්තයක් ලෙස චීනයේ තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව අඩුවීම සහ රටේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අසමතුලිතතාවය මෑත කාලීන පරිහානියට දායක වන සාධක ලෙස පෙන්වා දුන්නා.

සංගණන දත්ත වලට අනුව, පළමු විවාහය සඳහා සාමාන්‍ය විවාහ වයස 2020 දී අවුරුදු 28.67ක් වූ අතර, එය දශකයකට පෙර අවුරුදු 24.89 ක් වුණා.

ආර්ථික හා සමාජීය ප්‍රශ්න මතුවෙමින් පවතින අතර විවාහ සහ උපත් පහත වැටීමේ ප්‍රවණතා ආපසු හැරවීමට මෑත වසරවල චීන නිලධාරීන් ගත් උත්සාහයන් තවමත් ප්‍රතිඵල ලැබී ඇති බවක් දක්නට නැහැ.

විවාහක ජෝඩුවලට ලැබිය හැකි දරුවන් සංඛ්‍යාව දශක ගණනාවක් තිස්සේ පාලනය කළ පුළුල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම මෙන්ම දරු ප්‍රසූතිය සහ විවාහය දිරිගැන්වීමේ ක්‍රම සෙවීමට උත්සාහ කිරීම ද ක්‍රියාමාර්ගවලට ඇතුළත් වනවා.

විවාහය සම්බන්ධයෙන් ගත් කල, මේවා කොමියුනිස්ට් යූත් ලීගය - පක්ෂයේ තරුණ ශාඛාව විසින් පවත්වන ලද සමූහ අන්ධ ආලය සිදුවීම්වල සිට අනාගත හවුල්කරුවෙකුගේ පවුලකට රජය විසින් ගෙවනු ලබන මුදල හෙවත් “මනාලියකගේ මිල” අඩු කිරීමට උත්සාහ කරන නිලධාරීන් දක්වා පැතිරෙනවා.

එය වඩාත් සුලභ වන ග්‍රාමීය චීනයේ විවාහයට බාධාවක් විය හැකි බව සැලකෙනවා.

පසුගිය මාසයේ, රජයට අනුබද්ධ චීන පවුල් සැලසුම් සංගමය "විවාහය සහ දරුවන් බිහි කිරීම පිළිබඳ නව සංකල්පයක්" වෙනුවෙන් 2022 නියමු වැඩසටහනක් ක්‍රියාවට නංවනු ලැබුවා.

මෙම වැඩසටහන - පසුගිය වසරේ නගර 20ක් වෙත ව්‍යාප්ත කරන ලද අතර, මේ වසරේ තවත් ප්‍රදේශ 20 ක් එකතු කර ඇතැයි නිලධාරීන් පවසනවා.

“නිසි වයසේදී” විවාහ වීමට තරුණ තරුණියන් පෙළඹවීම සහ දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදා ගැනීමට යුවල දිරිමත් කිරීම කෙරෙහි මෙම වැඩසටහන මගින් අවධානය යොමු කර තිබෙනවා.

සිවිල් කටයුතු අමාත්‍යාංශයේ මෑතකාලීන දත්ත අනුව දික්කසාද ලියාපදිංචියේ සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර, 2022 දී විවාහකයින් මිලියන 2.1 ක් දික්කසාද වූ අතර එය පෙර වසරේ මිලියන 2.13 ට වඩා අඩු අගයක්.

උපත් අනුපාත පහත වැටීමේ සහ ජනගහනය හැකිලීමේ ගැටලුවට මුහුණ දෙන එකම රට චීනය නොවෙයි.

මෑත වසරවලදී, ජපානය සහ දකුණු කොරියාව ද උපත් දිරිගැන්වීම සඳහා මූල්‍ය දිරිගැන්වීම්, මුදල් වවුචර්, නිවාස සහනාධාර සහ තවත් ළමා ආරක්ෂණ ආධාර පියවර හඳුන්වා දී තිබෙන අතර ඒවායේ සාර්ථකත්වය ද සීමිත බවයි පැවසෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top