වී සහ තේ දළු මිල පහළට - සහන ඉල්ලන ගොවීන්
Thursday, 08 June 2023 - 14:14 | Views - 509

වී මිල පහත වැටීම හේතුවෙන් සිය ජීවිකාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව ගොවීන් පවසනවා.
කෘමිනාශක තෙල්, පොහොර මෙන්ම කුඹුරු සකස් කිරීමේ සිට අස්වැන්න නෙළාගන්නා තෙක් පවතින වියදම් ඉහළ යාම හේතුවෙන් ලාභයක් නොලැබෙන තත්ත්වයකයට පත්ව ඇති බවයි ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව වී වගාවේ නියැලීම ප්‍රතිඵලදායක නොවන බැවින් සිය කුඹුරුවල කුරුදු, ගම්මිරිස්, පොල්, පුවක් වැනි ස්ථීර බෝග වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබූ වී කිලෝවක මිල මේ වන විට රුපියල් 65 ත් 70 ත් දක්වා පහළ බැස ඇති බැවින් තවදුරටත් වී වගාවේ නිරත වීමේ අවධානමක් පවතින බැවින් ඊට අවශ්‍ය සහනයන් ලබාදීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
එමෙන් ම තේ දළු කිලෝවක මිලද සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා.
පහතරට අමු තේදළු කිලෝවක් අද වන විට රුපියල් 160 දක්වා පහල බැස ඇති අතර මීට පෙර අමු තේ දළු කිලෝවක් අලෙවිවූයේ රුපියල් 400 කටයි.
එමෙන්ම පහතරට නිමි තේ කිලෝග්‍රෑමයක මිලද රුපියල් 800 දක්වා පහත බැස තිබෙන බවයි සඳහන් වන්නේ.
මීට පෙර නිමි තේ කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 1900කට වන අතර ඩොලරයේ අගය පහළ යාමත් සමඟ මෙලෙස තේ දළු මිල අඩුවී ඇති අතර ඒ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article