ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී , හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට
Friday, 02 June 2023 - 15:14 | Views - 405

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ටී.වී. ප්රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට (03) දිනය පුරා පැවැත්වෙනවා.
මෙවර එය පැවැත්වෙන්නේ බුදුන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමාවතී පුදබිම කේන්ද්‍ර කර ගනිමින්.
සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට (03) උදෑසන 5.30ට ආරම්භ වන අතර, එය සජීවි ලෙස හිරු ටී.වී ඔස්සේ විකාශය වීමට නියමිතයි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ හිරු ශාසනාවතරණය මහා පින්කම ඇතුලු පිංකම් මාලාවක් සෝමාවතී පුදබිම කේන්ද්‍ර කර ගනිමින් සිදුකිරීමට නියමිතයි.
මෙහිදී කුල දරුවන් 10 දෙනෙකු සසුනට පූජා කරන අතර, හිරු ශාසනාවතරණයෙන් මෙතෙක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කර ඇති කුල දරුවන් සංඛ්‍යාව 150කට අධිකයි.
උන්වහන්සේ සියලු දෙනාගේ අධ්‍යාපනික කටයුතු සුපෝෂණය කිරීම ද හිරු ශ්‍රද්ධාභිවන්දනා පුණ්‍ය කර්මයට සමගාමීව සිදුකෙරෙන මා හැඟි කටයුත්තක්.
එමෙන්ම භික්ෂුන් වහන්සේ එකසිය පනස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතයි.
සෝමාවතිය සෑ රඳුන් වහන්සේ උදෙසා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජාවක් පවත්වා සිදුකරන මහාභිදාන පුණ්‍ය කර්මයක් ද හෙට (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, මහා කප්රුක් පූජාවක් සහ රටට ජාතියට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාවක් ද මෙහිදී සිදුකෙරෙනවා.
ඓතිහාසික සෝමාවතිය පුදබිම අභියස දී පැවැත්වෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා පිංකම් මාලාව සඳහා බැතිසිතින් එක්වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් ද සලසා තිබෙනවා.
Share This Article