සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි
Thursday, 04 May 2023 - 13:40 | Views - 320

සම්බුදු තෙමඟුල සැමරීම සඳහා රටම සූදානම් වෙමින් සිටිනවා.
වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප ක්‍රියාත්මකයි.
බෞද්ධාලෝක මාවත, ගංඟාරාම වෙසක් කලාපය මෙවරත් ක්‍රියාත්මක අතර, තොටලඟ, දෙමටගොඩ, කොටුව - බෝධිරාජමාවත, පෙරහර මාවත, බෞද්ධාලෝක මාවත සහ ෂැංග්‍රිලා පරිශ්‍රයේ තොරණ ඉදිකර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න කියා සිටියේ නගර සීමාව තුළ දන්සැල් 178 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.
එය පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් බව ඔහු සඳහන් කළා.
වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද පොලිසිය ක්‍රියාවට නංවා ඇති අතර, ඒ සඳහා සිවිල් නිලධාරීන්ද යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.
මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවා කිහිපයක් යොදවා තිබෙනවා.
2022 - 2023 ශ්‍රී පාද වන්දනා වාරය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ශ්‍රී පාද උඩමළුවේ හෙට පිංකම් රැසක් සංවිධාන කර ඇති අතර, අනතුරුව අනිද්දා අලුයම සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ රත්නපුර රජමාවත, කුරුවිට - එරත්න මාර්ගය, නල්ලතන්නිය - රත්නපුර මාර්ග ඔස්සේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි ශ්රීපාදස්ථානාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කළේ.
එමෙන්ම වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ හෙට සහ අනිද්දා අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බවයි. රැඳවියන්ට, නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ අතර වෙසක් පෝය උදාවීමට තවත් දිනක් පමණක් ඉතිරිව තිබියදී විහාරස්ථානයක විදුලිය විසන්ධි කිරීමේ සිද්ධියක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
බදුල්ල - හිඳගොඩ තපෝදනාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබුණේ විදුලි බිල නොගෙවීම හේතුවෙන්.
විහාරාධිපති පූජ්‍ය ඇකිරියේ සීවලී හිමියන් කියා සිටියේ විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි නිලධාරීන්ගෙන් එය සිදු නොකරන ලෙස ඉල්ලීමක් කළද ඔවුන් එය පිළිනොගත් බවයි.
Share This Article