ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අද යි (Video)
Saturday, 22 April 2023 - 9:46 | Views - 406

රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සහ උත්සවශ්‍රීයෙන් සමරන ඊද් අල්-ෆිතර් දිනය (22)අදයි.
ඊයේ රාත්‍රීයේ නව සඳ දර්ශනය වීමත් සමඟ අද රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.
රාමසාන් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත් උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් බැතිමතුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයක් ලෙස ද හඳුන්වනු ලබනවා.
ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවියන් විසින් ලබා දුන් ලියිනතූර් කත්‍රී නැමති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසය ලෙසයි රාමසාන් මාසය හැදින්වෙන්නේ.
නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා.
තවද , ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමදාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් උත්සවයක් සමරමින්.
රාමසාන් ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසයට අයත් වෙනවා.
කෙසේ වෙතත්, අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
හඳුනාගත් මුස්ලිම් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව, ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර ක්‍රියත්මක බවත්, සැකකටයුතු අයෙක් සිටීනම් ඔවුන් හඳුනාගැනීම සඳහා මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් කටයුතු ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ, රාමසාන් උත්සවය සමරන්නේ, රට තුළ ගොඩනැගී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළ බවයි.
එමෙන්ම එය සියළු දෙනාගේම සැනසුමට හේතුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තවද , නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීමට පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් කෙරෙහි ද සංවේදී වෙමින්, පරිත්‍යාගශීලීත්වයේ හා සමානාත්මතාවයේ මාහැගි පණිවුඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාව ලෙස මෙය සැළකෙන බවද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පීඩා විඳි ජනතාව තුළ මානුෂීයත්වය වර්ධනය කෙරෙන රාමසාන් උත්සවයක් වේවායි තමන් ප්‍රාර්ථනය කරන බවයි.
එමෙන්ම සියලු ජනවර්ගයාගේ එකමුතුවට රාමසාන් උත්සවය පිටුවහලක් වනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාව ද ශුද්ධ වූ කුරානය සහ මොහොමඩ් නබි තුමන්ගේ ඉගැන්වීම් අනුව ආගමික වතාවත්වල නිරත වෙමින් රාමසාන් උළෙල ප්‍රීතියෙන් සමරනු ඇති බවයි.
සහජීවනය හා සමගි සම්පන්න ශ්‍රී ලාංකික දේශයක් බිහි කිරීමට මෙවැනි ආගමික උත්සව වැදගත් වන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article