සැමියාව එලොව යවා , පෙම්වතාවත් පවා දුන් කතකගේ අමුතුම රංගනය..
Saturday, 25 March 2023 - 14:37 | Views - 522
දිවයිනේ නන්දෙසින් පොලිස් මූලස්ථානයට වාර්තා වන මිනීමැරුම් අතරින් බොහොමයක් ඝාතන ඉතා අමානුෂික ලෙස සිදුකරන ලද ඒවාය.

එවන් මිනීමැරුම් පිළිබඳ විමර්ශන සිදුකරද්දී ඉන් සමහරක් අනියම් පෙම් සබඳතා නිසා සිදුකළ ඝාතන බැව් අනාවරණය වී ඇත.

මිනිසකු මරා දැමීමට තප්පරයක කාලයක් හෝ ඇති වුවද ඒ පිළිබඳ විමර්ශනය කර ඊට සම්බන්ධ වූ පුද්ගලයන් කොටුකර ගැනීමට පොලිසියට ලොකු කැප කිරීමක් කළ යුතුව ඇත.

ඒ මිනිස් ඝාතනය සිදුකළ නිවැරදි පුද්ගලයා සොයා අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීම සඳහාය.

මෙවන් අමානුෂික මිනිස් ඝාතනයක් රුවන්වැල්ල පොලිසියෙන්ද පසුගියදා වාර්තා විය. ඒ ඉකුත් 10 වැනිදාය. 119 හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව රුවන්වැල්ල පොලිසියේ කණ්ඩායමක් ඝාතනය සිදුව තිබූ කොට්ටම්බගහ හන්දිය බලා පිටත්ව ගියහ.

රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ රබර් වත්තක් අසල පුද්ගලයකු බිම වැටී සිටින අයුරු නිලධාරීන්ට නිරීක්‍ෂණය විය.

සුදු සරමකින් සහ සුදු අත්දිග කමිසයක් ඇඳ සිටි ඔහුගේ සරමත් කමිසයත් රුධිරයෙන් නැහැවී ගොස් තිබිණි. බැලූ බැල්මට ඔහු වයෝවෘද්ධ අයෙකි. නිලධාරීන් ඒ අවට සිටියවුන්ගෙන් මරා දමා ඇති පුද්ගලයා හඳුනන්නේ දැයි විමසුවද ඔහු හඳුනා ගැනීමට කිසිවකුට හැකියාවක් නොවීය.

සිද්ධිය රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සීතාවක කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව ඔහුගේ උපදෙස් මත විමර්ශන ඇරඹිණි.

නිලධාරීන්ට මුලින්ම අවශ්‍යව තිබුණේ මරා දැමූ පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමය. එසේම මොහු අමානුෂික ලෙස මරා දැමීමද විමර්ශන නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේය. අවසානයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මියගිය පුද්ගලයාගේ ඡායාරූපයද සමඟ කෙටි විස්තරයක් මාධ්‍ය වෙත ලබාදීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. ඒ මාධ්‍ය හරහා හෝ මියගිය පුද්ගලයා හඳුනා ගැනීම සඳහාය.

පොලිසිය ගත් එම උත්සාහය හරිගියේය. විද්‍යුත් මාධ්‍යයක එම පුවත සහ මියගිය පුද්ගලයාගේ ඡායාරූපය පළවීමත් සමඟ එය දුටු ඔහුගේ දියණියක් රුවන්වැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් දී එම ඡායාරූපයේ සිටින්නේ තම පියා බව කීවාය. එය විමර්ශනයටද මහඟු පිටිවහලක් විය. තවදුරටත් මියගිය පුද්ගලයා ගැන කරුණු කාරණා විමසීමේදී ඔහුගේ දියණිය කීවේ තම පියා කට්ටඬියෙකු බවත් ගුරුකම් කටයුත්තක් සඳහා ඔහු ඉකුත් 9 වැනිදා ගොඩකවෙල නිවෙසින් පිටව ගිය බවත්ය.

දුවගේ එම ප්‍රකාශයත් සමඟ පොලිස් විමර්ශකයන් පඹගාලක පැටලුණි. ඒ සිද්ධියට දින කිහිපයකට පෙර රුවන්වැල්ල පොලිස් වසමේ ප්‍රදේශයකින් හොර රහසේ නිධානයක් ලබා ගැනීමේ සිදුවීමක් වාර්තා වී තිබීම නිසාය. ඒ නිසා පොලිසිය සැක කළේ නිධානය ගැනීමට මියගිය කට්ටඬියා සමඟ සම්බන්ධ වී ඉන් පසුව ඔහු මරා දමා ඇති බවය. ඒ නිසා පොලිස් කණ්ඩායම ඒ ඔස්සේ විමර්ශන ඇරඹූහ.

ඉන් අනතුරුව පොලිසිය කළ දැනුම්දීම මත මියගිය පුද්ගලයාගේ බිරිය ගොඩකවෙල සිට පැමිණ මියගොස් ඇත්තේ තම සැමියා වන පුංචි මහත්තයා බවට හඳුනා ගත්තාය.

පුංචි මහත්තයා 63 වැනි වියේ පසුවිය. ඉන් පසු මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා යොමු කරනු ලැබූ අතර එහිදී අනාවරණය වූයේ තියුණු ආයුධයකින් ඇන පුංචි මහත්තයා මරා දමා ඇති බවය. ඉන් අනතුරුව පුංචි මහත්තයාගේ දේහය බිරිය වෙත භාර දෙනු ලැබීය. ඒ අවසන් කටයුතු කිරීම සඳහාය.

තියුණු ආයුධයකින් ඇන පුංචි මහත්තයා මෙසේ අමානුෂික ලෙස මරා දැමුවේ ඇයි? ඒ කවුරුන් විසින්ද? නිදන් හෑරීමත් පුංචි මහත්තයාගේ මරණයත් අතර සම්බන්ධයක් ඇත්ද, විමර්ශන කණ්ඩායම මේ කරුණු කාරණා සොයා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත්හ.

“පුංචි මහත්තයාගේ මිනිය අවසන් කටයුතු කරන්න නිවෙසට ගෙනිච්චාට පස්සේ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙක් පුංචි මහත්තයාගේ මිනිය උස්සනකම්ම ගමේ මිනිස්සු වගේ ඉන්න කියලා ඒ මළගෙදරට පිටත් කළා. ඒ මොකක් හරි හෝඩුවාවක් සොයා ගන්න සිතාගෙනයි.”

“ඒත් මුකුත් තොරතුරක් ලැබුණේ නැහැ. මිනිය උස්සන වෙලාවේ පුංචි මහත්තයාගේ ගෑනියි දුවයි තවත් ඥාති අයයි හඬන කොට එක ගෑනු කෙනෙක් කිව්වා මේ මනුස්සයාව මරා ගත්තේ මේකියි අරුයි කියලා. ඒ කිව්වේ පුංචි මහත්තයාගේ පවුලට. ඔන්න ඔය හෝඩුවාව මළ ගෙදර හිටිය නිලධාරීන් මට කිව්වා. මම ඒක එස්.එස්.පී. මහත්තයට කියලා ඒ ගැන හෙව්වා. පුංචි මහත්තයාගේ අවසන් කටයුතු ඉවර වුණාට පස්සේ එයාගේ බිරිය මැණිකේගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගත්තා. ඒත් එයා ඒ වගක් අපිට කිව්වේ නැහැ.”

එම ප්‍රකාශයේදී ඇය පැවැසුවේ මෙවැන්නකි.

“එයා නව වැනිදා උදෙන්ම අවදිවෙලා මට කිව්වා මම ඈත වැඩකට යනවා කියලා. උදේටත් කාලා ගෙදර තිබුණු සුදු සරමකුයි, ගිරයයි, ගොක්කොළ කපන පිහියයි, සූනියම් දෙවියන්ගේ පිළිමයයි, රතු රෙදි පටි දෙක තුනකුයි, බෑග් එකකට දාගෙන එයා උදේ 8.20ට විතර ගෙදරින් පිටත් වුණා.

මැණිකේ පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැසුවාය. ඒ අනුව නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ 9 වැනිදා උදෑසන මාර්ගය දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා වෙතය. පුංචි මහත්තයා ගොඩකවෙල නගරයට පැමිණෙන අයුරු එක් කැමරාවක සටහන් වී තිබුණේය. තවදුරටත් සොයා බැලීමේදී තවත් කැමරාවක පුංචි මහත්තයා ත්‍රීවීලර් රථයකට ගොඩවෙන අයුරු ද නිලධාරීන්ට නිරීක්‍ෂණය විය. එම දර්ශන විශාල කර බැලීමේදී තවත් පුද්ගලයකු ත්‍රීවීලරයේ පිටුපස වාඩිවී සිටින අයුරුද නිලධාරීන්ට දැකගත හැකි විය. ඒ අනුව පොලිසිය සැක කළේ පුංචි මහත්තයා ගොඩවූ ත්‍රීවීලරයේ සිටි පුද්ගලයන් කිසියම් හේතුවක් මත පුංචි මහත්තයා ඝාතනය කරන්නට ඇති බවය. ඒ නිධානය ගැනීමේදී ඇති වූ කිසියම් සිද්ධියක් බවට ඇති සැකයද ඒ මොහොතේත් නිලධාරීන් තුළ තිබුණේය.

‘ඉන් පස්සේ’ අපි පුංචි මහත්තයගේ ජංගම දුරකථනයේ අංකය අරගෙන ඒකට ටෙලිෆෝන් ඩීටේල් එකක් ගත්තා, 9 වැනිදා මෙයත් එක්ක කවුද සම්බන්ධ වෙන්නේ කියලා ඒ අංක ඔස්සේ හොයන්න වුණා. පස්සේ ටවර් ලොකේෂන්වලින් පුංචි මහත්තයා ගොඩකවෙල, එරත්න, දැරණියගල, දෙහිඕවිට පැත්තේ ගමන් කරලා ඇති බවත් අනාවරණය කර ගත්තා. ඒ වගේම පුංචි මහත්තයා එක්ක උදේ ඉඳන්ම සම්බන්ධ වන පුද්ගලයාගෙන් දිගින් දිගටම තියෙන කෝල් බලලා ඒ පුද්ගලයාගේ අංකයටත් ටෙලිෆෝන් ඩීටේල් එකක් ගත්තා.

ඒ ඩීටේල් එකේ ටෙලිෆෝන් නොම්මර නිරීක්‍ෂණය කරද්දි ඒ පුද්ගලයා පුංචි මහත්තයාගේ බිරියටත් ඇමතුම් අරන් තියෙන බව හෙළි වුණා. පස්සේ පුංචි මහත්තයාගේ ගෑනිගේ අංකයටත් ඩීටේල් එකක් අරන් බැලුවාම එයත් මේ පිටස්තර පුද්ගලයා එක්ක ඇමතුම්වලට සම්බන්ධ වෙලා තියෙන වග තහවුරු වුණා. ඒත් ඒ ගෑනු කෙනා මේ බවක් මුලින් කිව්වේ නැහැ. පස්සේ අපි පුංචි මහත්තයගේ බිරිය මැණිකේවත් පොලිසියට කැඳවලා ආයෙත් ප්‍රශ්න කළා. ඒත් එයා ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ. පස්සේ අර ටෙලිෆෝන් ඩීටේල් විස්තර පෙන්නලා, “බොරු කියලා අමාරුවේ වැටෙන්න එපා” කිව්වම ඒ ගෑනු කෙනා මුළු කතාවම කියන්න පටන් ගත්තා.”

ස්ථානාධිපතිවරයා කටඋත්තරය සඳහන් කරන්නේය.

“මම පුංචි මහත්තයා හඳුනා ගන්න කොට එයා විවාහ වෙලා එයාට දරුවකුත් හිටියා. ඒත් එයාගේ ගෑනි වස පානය කරලා මියගිහින් තිබුණා. පස්සේ මගේ කැමැත්තෙන් පුංචි මහත්තයත් එක්ක විවාහ වුණා. එතකොට මට වයස 16යි. පස්සේ මට දරුවෝ තුන් දෙනෙක් ලැබුණා. මගේ මහත්තයා ගොවිතැන්වලට අමතරව යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිලුත් කරනවා. පස්සේ මම වතුපිටිවල ගාමන්ට් එකක වැඩට ගියා. ඒ ඉන්න කාලේ යුද්ධ හමුදාවේ විශ්‍රාම ගිය එක කකුලක් විතරක් තිබුණු කස්තුරි කියල කෙනෙක් මට නතර වෙන්න කාමරයක් හොයා ගන්න උදවු කළා. පස්සේ අපි දෙන්නා අතර ආදර සම්බන්ධයකුත් ඇති වුණා. පස්සේ අපි දෙන්නා වතුපිටිවල පැත්තේ වෙනම කාමරයක් අරගෙන එකට ජීවත් වුණා.”

ඒ අතරතුර මාසයට සැරයක් විතර මම ගොඩකවෙල ගෙදරට ආවා ගියා. කස්තුරි තමයි පල්ලේබැද්දට වෙනකම් මාව ඇරලුවේ.

ඔය කාලයේදී මම කස්තුරිට කිව්වා මගේ මහත්තයා පිළිකාවක් හැදිලා මැරුණා. ඒත් මහත්තයාගේ අයියා මට හරියට කරදර කරනවා මාත් එක්ක එකට ඉන්න හදනවා කියලා. පස්සේ දවසක මම නිවාඩුවට ගෙදර ගියාට පස්සේ මහත්තයා කිව්වා වැඩට යන්නේ නැතිව ඔයා ගෙදර ඉන්න කියලා. ඒ නිසා මම ගෙදර නැවතුණා. ඒත් ඊට පස්සෙත් කස්තුරි මට නිතරම කතා කළා. එයා එතකොට කියන්නේ එයා ගාව හැමදාම ඉන්න එන්න කියලා.

පස්සේ එයා අපේ ගෙදර එන්න හැදුවා. මම කිව්වා ගෙදර මහත්තයගේ අයියා ඉන්න හින්දා මෙහෙ ආවට අපිට එකට ඉන්න බැහැ කියලා.

එතකොට කස්තුරි කිව්වා ඔය ගෙදර ඉන්න අයියා තොවිල් කරන අයකු නිසා මට ගෙන්න ගන්න පුළුවන් මගේ වැඩක් කරගන්න කියලා. එහෙම ගෙන්වගෙන මම ගහලා දාන්නම් කියලා. එයා එහෙම කිව්වම මම කිව්වා එහෙම ගෙන්නගෙන ගහලා මෙහෙට ආයෙත් එවන්න එපා. ඔය පැත්තෙම කොහේ හරි තියා ගන්න කියලා. එහෙම කිව්වට පස්සේ මම ‘අයියා’ කියලා කියන මගේ මහත්තයාගේ ටෙලිෆෝන් නොම්මරේ කස්තුරිට දුන්නා.

පස්සේ මම ගෙදර ඉන්න දවසක අර නොම්මරේට කතා කරලා මට කිව්වා මම ඔයාගේ අයියට කතා කළා. මගේ වැඩක් තියෙනවා කරගන්න. මම අයියව ගන්න 9 වැනිදා උදේ ගොඩකවෙලට එන්නම් කියලා කිව්වා.

9 වැනිදා ඒ කිව්වා වගේම මහත්තයා උදෙන්ම නැඟිටලා ඈත ගමනක් යන්න තියෙනවා කියලා ඒකට යනවා කියලා යන්න ගියා. පස්සේ මට කස්තුරි කතා කළා. මම කිව්වා අයියා ගෙදරින් ගියා කියලා.”

මැණිකේ පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට වූවාය. එලෙස ගුරුකම් වැඩකට ගිය පුංචි මහත්තයා නැවත නිවෙසට පැමිණියේ නැත. එය මැණිකේටද ප්‍රහේලිකාවක් විය.

පස්සේ දවසේ කස්තුරි මට කතා කළා. මම කපු මහත්තයාගේ දෙතුන් පොළකට පිහියෙන් ඇන්නා. මැරුණද දන්නේ නැහැ. දිව්වා කියලා කිව්වා.”

මම ඇහැව්වා ඇයි මැරුවේ මම කිව්වේ කකුලක් අතක් කඩලා එක තැන තියන්න කියලා නේද? ඇයි එයාව මැරුවේ කියලා.

පස්සේ පුතා මට කතා කරලා ඇහැව්වා තාත්තා කොහේ හරි ගියාද කියලා. මං කිව්වා තාත්තා වැඩකට රුවන්වැල්ලේ ගියා කියලා. පස්සේ පුතා කිව්වා තාත්තා වගේ කෙනෙක් මරලා දාලා ටීවී එකේ පෙන්නුව කියලා. පස්සේ තමයි මම ගිහින් මහත්තයගේ මිනිය හඳුන ගත්තේ” මැණිකේ ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය.

“හරි දැන් තමන් වැඩක් කරන්න ඕනෑ. කස්තුරි කියන කෙනාට කතා කරලා කියන්න ඕනෑ මහත්තයගෙ මරණ සහතිකය ගන්න අවිස්සාවේල්ලට යන්න ඕනෑ එතකොට සේරම ඉවරයි. මට තනියම යන්න බයයි. ඒ නිසා එයාටත් අවිස්සාවේල්ලට එන්න කියලා කිව්වා.”

පොලිස් ස්ථානාධිපතිවරයාගේ කීමට අවනත වෙනවා හැරෙන්නට වෙන යමක් කරන්නට ඇයට ඉඩක් නොවීය. ඒ ඇයද ඒ වන විට බියට පත්වී සිටි නිසාය. ඒ අනුව ඇය නිලධාරීන් ඉදිරියේ සිය පෙම්වතා වූ කස්තුරිට දුරකථන ඇමැතුමක් දී ස්ථානාධිපතිවරයා කියා දුන් ආකාරයටම අවිස්සාවේල්ලට එන ලෙස කීවාය.

“හරි ඔයා එන්න. මම දැන්ම එන්නම් “මේ කිසිත් නොදත් කස්තුරි තම පෙම්වතියගේ කීමට එක පයින් කැමැති වී අවිස්සාවේල්ලට පැමිණියේ එතැන් පටන් ඇය සමඟ රිසි සේ පවුල් කන්නට සිතාගෙනය. මැණිකේ අවිස්සාවේල්ල නගරයේ රැඳී සිටියාය. බසයෙන් බැස ගත් කස්තුරි සතුටින් ඉපිලි ඉපිලී ඇය හමුවට ආවේය. එහෙත් මැණිකේ සිටියේ බිරාන්තවය.

“ඇයි මොකද බය වෙලා වගේ”

කස්තුරිට කියන්නට ලැබුණේ එපමණකි. සිවිල් ඇඳුමෙන් සැරසී ඒ වටා රැඳී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියට පැන කස්තුරි අල්ලා ගත්තේය.

“මේ මොකද කවුද ඔයගොල්ලෝ”

කස්තුරි එසේ විමසද්දී මැණිකේ බිම බලාගත්තාය. “අපි පොලිසියෙන් යමුකෝ වැඩක් තියෙනවා. කතා කරගන්න.”

නිලධාරියකු කස්තුරිට කීවේය. පසුව ඔහු කුදලාගෙන රුවන්වැල්ල පොලිසියට රැගෙන යෑමෙන් පසු ඔහුට කරුණු කාරණා පහදා දීමට නිලධාරීහු කටයුතු කළහ.

“අපි සේරම හොයාගෙන ඉවරයි. තමුසෙගෙ පෙම්වතියත් අපිට සේරම කිව්වා. දැන් ඇත්ත කියනවද මොකද” “නැහැ නැහැ සර් මම ඇත්ත කියන්නම්.”

කස්තුරි කී ආකාරයට සිය බිරිය සහ දරු දෙදෙනා සමඟ නිට්ටඹුව වතුපිටිවල ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි අතර ඔහු විශ්‍රාමික මාණ්ඩලික හමුදා සැරයන්වරයෙකි. බිරිය සහ දරුවන් සමඟ ජීවත් වුවද ඔහු පවසන්නේ වසර ගණනක සිට ඔහු බිරිය සමඟ අමනාපයෙන් පසු වූ බවය.

“මගේ ගෙවල් ළඟ යාළුවකුගේ බෝඩිමක් තියෙනවා. ඒකෙ ගෑනු ළමයි නතර වෙලා ඉන්නවා. මමත් ඒ බෝඩිමට යනවා. එතැනදී නංගි කෙනෙක් මට කතා කරලා කිව්වා එයාගේ මහත්තයා පිළිකාවක් හැදිලා නැති වුණා දැන් අවුරුදු 12ක් විතර වෙනවා කියලා. පස්සේ මම එයාට ටෙලිෆෝන් නොම්මරේත් දුන්නා. අපි දිගටම කතා කළා.”

එයා නිවාඩුවට ගෙදර යනකොට මම මඟට ගිහින් එයාව ඇරලනවා. මේක මගේ බිරිය දැනගෙන එයාත් එක්ක රණ්ඩු වුණා. පස්සේ මාකලාන ගමෙන් බෝඩිමක් අරගෙන අපි දෙන්නා එකට ජීවත් වුණා.”

“ටික කාලයකට පස්සේ එයාට රස්සාව කරන්න අමාරුයි ගෙදර යන්න ඕන කිව්වා. මම එයාව ඇරලලා ආවා. ඊට පස්සේ එයා රස්සාවට ආවේ නැහැ. ඊට පස්සෙත් අපි දෙන්නා පල්ලෙ බැද්දෙදි හම්බ වුණා.

ඔන්න ඔය අතරෙදි ඒ නංගි මට කතා කරලා කිව්වා එයාගේ මහත්තයගේ අයියගෙන් එයාට හරි කරදරයි එයාට එක එක යෝජනා ගේනවා ඒ නිසා එයාට දෙකක් ගහලා කියන්න මට කරදර කරන්න එපා කියලා.

මම ඇහැව්වා ගෙදරටම ඇවිත් ගහලා යන්නද කියලා. එතකොට කිව්වා එහෙම කරන්න එපා. මහත්තයගෙ අයියා කට්ටඬියෙක් එයාගේ හෑන්ඩ් ෆෝන් එකට කතා කරලා ගුරුකම් වැඩක් කරවගන්න තියෙනව කියලා ගෙන්න ගෙන දෙකක් ගහලා දාන්න කියලත් නංගි කිව්වා. එහෙම කියලා කට්ටඬියාගේ නොම්මරෙත් දුන්නා.”

සැකකරු පොලිසිය හමුවේ එසේ කීවේය. ඒ අනුව දිනක් කපු මහත්තයාගේ ජංගම දුරකථනයට හමුදා සැරයන්වරයා දුරකථන ඇමැතුමක් දෙමින් ගුරුකම් වැඩක් කරගැනීමට ඔහුට කතා කළේ ඒ සිය පෙම්වතියගේ විවාහක සැමියා බව නොදැනයි.

“ඔය වැඩේට පොඩි පොඩි දේවල් ටිකක් ගන්න තියෙනවා.”

“හරි ඒ ටික මට කියන්න මම ලියාගන්නම්.”

“හැබැයි මට හත අට දවස් දෙකේ බැහැ. මගේ පවුල සිරිපාදේ යනවා. 9 වැනිදා පුළුවන්. හැබැයි රුපියල් හැට දාහක් ඕනෑ.

“හරි හරි මුදල් ප්‍රශ්නයක් නැහැ. මම එහෙනම් කපු මහත්තයා ගන්න 9 වැනිදා උදේ 9ට පල්ලේබැද්දට එන්නම්. කපු මහත්තයා එතැනට එන්න.”

“පස්සේ මම කපු මහත්තයව පල්ලේබැද්ද බැංකුව ළඟින් ත්‍රීවීලර් එකට නග්ගාගෙන කුරුවිට ආවා. එතැනින් එරත්නට ඇවිත් දැරණියගලට ගියා. දැරණියගලින් දෙහිඕවිට, රුවන්වැල්ල, ගෝනගල්දෙණිය පාරේ අත්තනගල්ලට අරන් ගිහින් පාළු ගෙයක් පෙන්නලා එතැනට අරගෙන ගියා. ගිහින් බොරුවට කෝල් එකක් දාලා ඒ ගෙදර මිනිසුන්ට කියලා කතා කරලා කපු මහත්තයට කිව්වා එයාලා ගෙදර වහලා යතුර අරගෙන ගිහින් අද වැඩේ කරන්න වෙන්නෙ නැහැ. කියලා කිව්වා. මම කපු මහත්තයව ඇඹිලිපිටිය බස් එකකට දාන්නම් කියලා කිව්වා.

ඒ වන විට ප්‍රදේශයට අඳුර පැමිණමින් තිබිණි. පසුව ගෝනගල්දෙණිය පාරෙන් රුවන්වැල්ල මාර්ගයට අවතීර්ණ වූ මොවුන් කොට්ටම්ගස් හන්දිය දෙසට ගමන් කර ඇත. “ඒ හරිය පාළුයි. ගෙවල් ‍දොරවල් නැහැ.

මට හිතුණා කපුවා මරන්න හොඳම තැන මෙතැන කියලා. මම කිව්වා මුත්‍රා කරන්න ඕන ත්‍රීවීලර් එක නතර කරන්න කියලා. කපුවත් කිව්වා එයාටත් මුත්‍රා කරන්න ඕන කියලා. මම ත්‍රීවීල් එකේ පිටිපස්සේ තිබුණු පිහියත් අතට අරගෙනම බැස්සා.

කපු මහත්තයා රබර් කැලේට මුත්‍රා කරලා අනිත් පැත්තට හැරෙන කොටම මම පිහියෙන් එයාගෙ බඩට ඇන්නා.

“ඇයි මාව මරන්නේ කියලා අහලා මෙන්න මිනී මරනවෝ කියලා කපු මහත්තයා කෑ ගැහැව්වා. ඒත් එක්කම මම පිහියෙන් කපුවාව කැපුවා. ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර් ඇහැව්වා මේ මොකද බං කරන්නේ මේ අහිංසක මනුස්සයට කියලා. ඒත් එක්කම මම තව පාරක් කපුවගෙ පපුවටත් ඇන්නා. පිහි පහර කාගෙන කපුවා දිව්වා. අපි එතැනින් ආවා.

පස්සේ මට හිතුණා අපරාදෙ ඒ මනුස්සයට පිහියෙන් ඇන්නෙ කියලා. එහෙම හිතලා මම මගේ වම් කකුලටත් පිහිපාරක් ගහගත්තා. පස්සේ පිහිය රබර් වත්තට විසි කළා.

ඒ යන ගමන් කපුවගේ බෑග් එකේ තිබුණු සරම රතු පාට රෙදි කෑලි, ගිරය, පුවක් කපන පිහිය නිල් පාට බෑග් එකත් කරවනැල්ලේ ලොකු පාලමෙන් ගඟට දැම්මා. දාලා පිළිමේ පන්සල් කැටයක් උඩින් තිබ්බා. ගෙදර ගිහින් ගෑනිට කිව්වා මම රණ්ඩුවක් වුණා ඇඳුමේ ලේ ඇති. ඒක පුච්චලා දාන්න කියලා.

ඊට පස්සේ මම නංගිට කෝල් කරලා කිව්වා මම කපුවට පිහියෙන් ඇන්නා මැරුණද දන්නේ නැහැ කියලා. හැබැයි ෂුවර් නැහැ. මැරුණේ නැත්නම් ගෙදර එයිනේ එතකොට මට කෝල් එකක් දෙන්න කියල කිව්වා.

පස්සේ නංගි මට ආයෙත් කෝල් කරලා කිව්වා අවුලක් නැහැ. ඒත් හැම තැනම ගිනි ඇවිළිලා තියෙන්නේ ගෙදර ආවේ නැති නිසා කියලා.

පස්සේ 10 වැනිදා නංගි මට කතා කරලා කිව්වා අරූ මැරිලා. ඔයා පරිස්සමින් ඉන්න කියල. ඒත් මම දන්නේ නැහැ මම පිහියෙන් ඇනලා මැරුවේ නංගිගෙ මහත්තයා කියලා. එයා මට කිව්වේ මහත්තයා මැරිලා එයාගේ අයියගෙන් කරදරයි කියලා විතරයි.”

පසුව සැකකාර හමුදා සෙබළා ලවා ඔහු සමඟ පුංචි මහත්තයා ඝාතනයට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරුද ගෙන්වාගත් නිලධාරීන් ඔහුවද අත්අඩංගුවට ගනු ලැබීය.

පුංචි මහත්තයා කට්ටඬියා ඝාතනය කර ඇත්තේ නිදන් වදුල හෑරීමට සම්බන්ධ වීම නිසා බවට පොලිසිය තුළ තිබූ සැකය ඒ අනුව බැහැර වී ගියේය. තම සැමියා මරා දමන්නට ආධාර අනුබල දීමේ වරදට මැණිකේවද පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව සැකකාරියත් සැකකාර හිටපු හමුදා සැරයන්වරයාත් ත්‍රිරෝද රථ රියැදුරුත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට කටයුතු කෙරිණි.

සබරගමුව පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත සීතාවක කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක තුෂාර මහතාගේ මෙහෙයවීමෙන් උප පරීක්‍ෂකවරුන් වන හේමන්ත, ජයරත්න, රෝහිත කුලතුංග සහ සැරයන් බණ්ඩාර (63757), සහ කොස්තාපල් වරුන් වන රත්නායක (92622), මධුසංඛ (31752), කාන්තා සැරයන් රංජනී (1448), කොස්තාපල් අනුෂ්කා (8523), මැණිකේ (9056) සහ රියැදුරු සේනාරත්න (16138) යන පිරිසද එම විමර්ශනයට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්
පින්තූර – නිහාල් සිරි ගම්ලත්
මව්බිම




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top