වාහන ආනයනයට අවසර දෙන්න - ඉල්ලීමක් (Video)
Saturday, 18 March 2023 - 10:08 | Views - 17,303

මෙරටට බලපෑ ඩොලර් අර්බුදයත් සමඟ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළේ 2021 වසරේ මැයි මස 24 වැනිදායි.
ඒ් අනුව මාස 22කට ආසන්න කාලයක් කිසිදු වාහනයක් මෙරටට ආනයනයට අවසර හිමිවුණේ නැහැ.
මෙවන් පසුබිමක වාහන ආනයනය සඳහා නැවත අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සාකච්ඡාවකට එක්වුණා.
එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතත් නැවත වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබුණු බවයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. කේ. ගමගේ පැවසුවේ.
එමෙන්ම, භාවිත කළ රථවාහන වෙළෙඳපොලට සහන ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීමට ද මහබැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ කර තිබෙනවා.
මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහබැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
ජාතික ජනබලවේගයේ වසන්ත සමරසිංහ මහතා විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.
යෝජිත මහබැංකු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් එහි ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දි තිබෙනවා.
මේ හරහා මහබැංකුව පාර්ලිමේන්තුවේ බලයෙන් මිදෙනු ඇති බවත් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් .
එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ඩොලරයේ මිලට සමානුපාතිකව ගුවන් ටිකට් පතක මිල ගණන් 20%කින් පමණ අඩු කිරීමට ගුවන් සේවා සමාගම් කටයුතු කර තිබෙනවා.
ඒ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
කෙසේවෙතත්, නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද දිනයේ රුපියල් 350ක් බවට පත්වුණා.
Share This Article