රුපියල් 90 ගානේ පොල් මිලදී නොගෙන රුපියල් 100 බැගින් පොල් තොගයක් මිලදී ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරිය සමග බහින් බස් වී ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් අවුරුදු 30ක එක්දරු පියෙකු සීදුව දඬුගම් ඔයට පැන සියදිවිනසා ගැනීමක් පිළිබඳව පුවතක් මීගමුවෙන් වාර්ථා වෙනවා.
නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්නගේ කාර්යාලයෙන් මේ පුවත 15 වෙනිදා වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ දකුණ සීදුව පදිංචිව සිටි ලහිරු මදුශාන් පීරිස් (30) නමැති එක්දරු පියෙකි.
මියගිය අය රසායනාගාර සේවකයෙකු වන එක්දරු පියකු බව කියයි.වසර 2කට පෙර විවාහ වී ඇත.බිරිය පොල් වෙළඳාමේ යෙදී සිටින බව අනාවරණය විය. රුපියල් 90 බැගින් මිලදී ගැනීමට තිබූ පොල් තොගයක් රුපියල් 100 බැගින් මියගිය තම ස්වාමි පුරුෂයා විසින් මිල දී ගත්තේ යැයි කියමින් මගේ ව්‍යාපාර කටයුතු වලට අත ගසන්ට එපා යනුවෙන් සඳහන් කර බිරිය පුරුෂයාට බැනවැදීම නිසා ඇති වූ සිත් තැවුලක් මෙම සියදිවි නසා ගැනීමට හේතු වූ බව මරණ පරීක්ෂණයේ සාක්ෂි වලදී අනාවරණය විය.
මියගිය අයගේ බිරිය ලක්මාලි උදේශිකා යන අයද මියගිය අයගේ පියා ද සාක්ෂි දුන්හ. වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් බවත් සිය පණ නසා ගැනීමක් බවත් සිය වාර්තාවේ සඳහන් කර ඇත.සීදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඇන්ටනි මහතා සාක්ෂි මෙහෙ වන ලදී.
ඩී.මිහිඳුකුල-කොච්චිකඩේ
දිනමින