ආදරේ කියන දේ හැමවෙලාවකම නිවීමක් තුල තියෙන්න ඕනේ.. මේ ගමනට මගේ පළවෙනිම නිමිත්ත වුණේ..(Photos)
Wednesday, 08 March 2023 - 7:23 | Views - 649

ඇය මෙලොවට ආ දා සිට දිසානායක මුදියන්සේලාගේ රේණුකා ටිකිරි බණ්ඩාර දිසානායකයි. ඒත් මීට වසර කිහිපයකට පෙර එනම්, 2018 වර්ෂයේ ඇය දෙමටව උප්පලවන්නා නමින් කසාවත දරන්නීය. රූපය අතින් ඇය සිටින්නේ ඉතාමත් ඉහළම තැනක කිවුවොත් මා නිවැරදියි. නමුත් කාන්තාවක් විදිහට ශක්තිමත්ව ඇය සොයන්නේ සැබෑම නිවන් මාර්ගය නොවේද ? ඒ ගැන කතාකරන්න අපි අද කාන්තා දිනයේදී එකතු කර ගත්තේ, මාතලේ දිස්ත්‍රික්කයේ සිල් මාතා සංගමයේ ලේඛකාධිකාරී දෙමටව උප්පලවන්නා මෙහෙනියයි.
විශේෂය නම්,මීට වසර ගණනාවකට පෙර අද වන් කාන්තා දිනයකදීම තමයි ඇයගේ උපත සිදුවන්නේත්, ඒ කියන්නේ අද ඇයගේ උපන් දිනය. මෑණියන්ගේ ඒ කලේ ගැන මතක් කලොත් ? මට සහෝදරයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ ගොල්ලෝ ඔක්කොමලා මට වැඩිය බාලයි. මං පවුලේ වැඩිමලා. තාත්තා නැහැ අපේ. අම්මා ඉන්නවා. ඒත් මං හැදෙන්නේ අම්මා එක්ක නෙමෙයි. මං පුංචි කාලේ ඉඳලා හැදුණේ මගේ කිරි අම්මයි , කිරි අත්තයි එක්ක. එතනින් පස්සේ තාත්තාගේ අක්කා මගේ නැන්දා එක්ක තමයි මං මගේ ජිවිතේ ගෙනියන්නේ.එයා තමයි මගේ දෙවැනි අම්මා. මං ඉපදුනේ කුරුණෑගල, හෙට්ටිපොළ. පාසල් ගියේ පුත්තලමේ නවගත්තේ ගම සහ ආණමඩුව යන පාසල් ද්විත්වයට. මම අවසාන වශයෙන් ගුරුවරියක් විදිහට සේවය කළා. තව මගේ තිබුණා මාතලේ පුංචි අවන්හලක්. හැබැයි මං කෝටිපතිනියක් නෙමෙයි. මං හරි පුංචි මනුෂ්‍යයෙක්. අවන්හල මං පටන් ගත්තේ උයන්න ආශාවට , අපේ තාත්තටත් හොඳට රසට උයන්න පුළුවන්. ඉතින් තාත්තා නැතිවුනේ මට අවුරුදු නමයෙන් , මං තමයි මගේ මල්ලිලා සේරම බලා ගත්තේ,පවුලේ සියලු බර කරට ගන්න වුණේ මට මොකද මං පවුලේ වැඩිමලා නිසා. අවසානෙට චුටිම මල්ලිගෙත් ඉගනීම , ඒ කටයුතු සියල්ල ඉවර කරලා තමයි මං පැවිදි වෙන්න තීරණය ගන්නේ. මෑණියන්ට පැවිදි වෙන්න ඕනේ කියන සිතුවිල්ල එන්නේ කොහොමද ? පුංචි කාලේ අපි ගමේ පන්සලට හරි ලැදියි. නිතරම යනවා. ඉතින් සිවුර දකිද්දී පුංචි ආශාවක් තිබුණා. ඒත් ඒ කාලේ මං හිතුවේ කෙල්ලෙක් නිසා මට ශාසනේට එන්න බැරුව ඇති කියලා. කොහොම හරි ඔය කාලේ තමයි අපේ තාත්තා අපිව දාලා යන්නේ. මගේ තාත්තා ගොවියෙක්. මී උණ කියන රෝගය හැදිලා තමයි අපේ තාත්තා හිටි ගමන් නැති වෙන්නේ. ඉතින් තාත්තාගේ අහිමි වීම මට ලොකු කමටහනක් වෙනවා. එතනින් පස්සේ තමයි මං හිතන්න ගන්නේ තරුණ අයත් මැරෙනවා, වයස අයත් මැරෙනවා, මං මහණ වුණානම් හොඳයි කියලා. හිත කඩන් වැටෙන හැම වෙලාවකටම මං යන්නේ පන්සලට. එදා ඉඳලා බුදු හාමුදුරුවන්ට තමයි මං මගේ දුක කියන්නේ, ඒ කාලේ මං තනියම භාවනා කරනවා. කවුරුත් දන්නේ නෑ. ඉතින් කොහොම වුණත් මේ ගමනට මගේ පළවෙනිම නිමිත්ත වුණේ මගේ තාත්තගේ හදිසි මරණය. කාලයත් එක්ක ඔහොම යනකොට තවත් නිමිති කිහිපයක් ම මට මේ ගමනට පාර කියනවා. ඒත් මං නම් හිතන්නේ, මගේ කුසල් පිරෙනකම් තමයි මට මෙච්චර දවස් ගිහින් තියෙන්නේ මේ හරි වයසේදී තමයි මට කුසල් පිරෙන්න ඇත්තේ කසාවත දරන්න කියලා.මෑණියෝ බැලු බැල්මටම ලස්සන තරුණියක්,මීට කාලෙකට කළින්, සමාවෙන්න මෑණියනි මෙහෙම කියනවට ආදරයක් නිසා ජිවිතේ කළකිරුණු අවස්ථා එහෙම නැද්ද ? කොහොමද මෑණියෝ ආදරේ ගැන දකින්නේ..මගේ ජීවිතේ ආදරේ ගැන කතා කරන්න මං අකමැතියි. හැබැයි මං ආදරේ ගැන පොදුවේ කතා කරන්නම්. අපි හැමකෙනාම ආදරේ ට හරි කැමතියි එක එක වයස් වලට , එක එක්කෙනාගෙන්, මං ඒ දවස් වල ආදරේ දැක්කේ හරි ලස්සන දෙයක් විදියට. නමුත් පරිණත වෙනවත් එක්ක අත් දැකීම් වැඩිවෙනවත් එක්ක තේරුම් ගත්ත එක දෙයක් තියනවා පුතේ, ආදරේ කියන්නේ විරුද්ධ ලිංගිකයන්ව, ලිංගිකව එකතු කරන්න හදපු එක වචනයක් විතරයි. ඒ ඇරෙන්න අවංකවම ආදරේ කරලා තියෙන්නේ සිදුහත් කුමාරයයි, යශෝදරා දේවියයි. විතරක් වෙන්න ඇති.ආදරේ කියන්නේ කැපකිරීමකට, තියෙන සැබෑම ආදරේ ආදරේ කරන කෙනාව දුකින් ගලවන එක. තරුණ දරුවෝ ගොඩක් වේලාවට ආදරේ මුළු ජීවිතේම කර ගන්නවා. ඊට පස්සේ සියලු දේ කඩා කප්පල් කර ගන්නවා. ජිවිතේ නැති කර ගන්න එක තමයි තියෙන ලොකුම හානිය. ආදරේ කියන දේ හැමවෙලාවකම නිවීමක් තුල තියෙන්න ඕනේ. මං දකින්නේ එහෙම. කසාවතින් මේ යන ගමන දුෂ්කර නැද්ද ? තරුණියක් විදිහට මමත් ඒ කාලේ පැෂන් වලට ගොඩක් ආස කරපු කෙනෙක්. ගත පුරා රන් දවටගෙන, වත පුරා සුවද විලවුන් ගවස ගෙන ඒ ගෙවපු ජීවිතේට වඩා අද මං මේ අදින පඩු සිවුරේ ඊට වඩා සුවයක් තියෙනවා. මොකද , ඒ තුල මට දැනෙන නිවීම, ඒ තුල මට දැනෙන සැනසීම අනිත් හැමදේටම වඩා ලොකුයි. ඒවා හරි බරයි. දැන් ප්‍රශ්න නෑ, මේ ජිවිතේ මට නැති වෙන්න දෙයක් නෑ. කසාවතයි , පාත්තරෙයි ඇරුණම මට නැති වෙන්න අඩුම තරමින් බැඳීමක් වත් නෑ. පැවිද්ද තරම් සුවයක් මේ තුන් ලෝකෙම නෑ. හැබැයි, කාන්තාවක් විදිහට ලංකාව ඇතුලේ පැවිද්ද කියන දේ ඇත්තටම අමාරුයි තමයි. මට විතරක් නෙමෙයි කාන්තාවක් විදිහට ඒක ගිහි , පැවිදි අපි හැමෝටම තියෙන දෙයක්. මෑණියෝ, මේ වැඩ ඉන්න තැන ගැන කිව්වොත්..මෙහෙට කියන්නේ නුවර, පන්නිල කුඩා හුන්නස්ගිරි කන්ද පාමුල උප්පලවන්නී මෙහෙණි අරණෙහි, කුඩා කුටියක් විතරයි තියෙන්නේ , දැනට මං වැඩ ඉන්නේ එතන තමයි. මෑණියෝ මේ කසාවත දරාගෙන, ඉදිරි බලාපොරොත්තුව මොකද්ද ? ධර්මය ප්‍රචාරය කරනවාද, එහෙමත් නැත්නම් අධ්‍යාත්මක සුවයද ? එකම බලාපොරොත්තුව අධ්‍යාත්මක සුවය පමණයි. ඒකයි මං හැමදේකින්ම ඈත් වෙලා ජීවත්වෙන්නේ. නමුත්, නිවිච්ච තැනකින් තව කෙනෙක් නිවන එක පිනක් නිසා , තව එක් අයෙකුට හරි මම ලබපු මේ සුවය ලබා දෙන්න මං හිතනවා. ඒ නිසා තමයි මේ ආරණ්‍යය හදන්න පටන් අරන් තියෙන්නේ. මේක හදන්නේ මුළු ලෝකෙම ඉන්න කාන්තාවන්ට.. මගේ අරමුණ ඒකයි. ලෝකයේම ඉන්න කාන්තාවන්ට ඇවිල්ලා එක දවසකට හරි හිත නිවෙන්න තැනක් මෙතන හදන එක තමයි මගේ බලාපොරොත්තුව.මේක හැදෙන්නේ. ආරණ්‍යය සේනාසනයක් හා භාවනා මධ්‍යස්ථානයක් විදිහට ලොව පුරා. තවත් දෙයක් කියන්න ඕනේ අපේ ලංකාවේ ඉන්න කාන්තාවෝ ගොඩාක් පීඩනයකින් ජිවත් වෙන්නේ. අද ලංකාවේ ඉන්න කාන්තාවන්ගෙන් හතරෙන් තුනක් විෂාදය රෝගයෙන් පීඩා විදිනවා. මං මුහුණු පොත පවා පාවිච්චි කරන්නේ ඒ වගේ කාන්තාවන් වෙනුවෙන්. දවසකට ඒ වගේ කාන්තාවන්ගේ හිත් කොච්චර මං නිවනවද කියලා මටම ගණන් කර ගන්න බෑ. ඉතිං මගේ අරමුණ තමයි, කාන්තාවන්ට සුවයක් , සැනසීමක් ලබාදීම.සතුට සැනසුම ඇත්තටම තියෙන්නේ කොතනද ? කාන්තාවක් විදිහට කාන්තාවන් ට මොනවද කියන්න තියෙන්නේ.. ඇත්තටම , අත්හැරපු තැනමයි සැනසීම තියෙන්නේ, පුතේ. මේක මම කෙළින්ම කියන කතාවක් , මම නම් දකින්නේ,මේ සමාජය ඇතුලේ ලිංගිකත්වය කියන දේ එළිපිට කතා කරන්න බැරි නිසා, පිරිමියෙකුට ඇවිල්ලා කෙළින්ම ගැහැණියෙකුට කියන්න බැරි නිසා මට ඔයත් එක්ක sex කරන්න ඕනේ, කියලා. ඒකට පිරිමි පාවිච්චි කරන සුරංගනාම වචනේ තමයි ආදරේ කියන්නේ. එයාට ආදරේ කිවුවම අපිට එයාව නම්ම ගන්න ලේසියිනේ. ඒකයි.කසාදය කියන්නෙත් ඒ වගේම තමයි, ලිංගිකව හැසිරෙන්න නීතියානුකූලව ලියාගන්න එකට තමයි කසාදය කියන්නේ. එහෙම නැතුව පවුල් ජීවිත තුල සෙනෙහස තිබ්බා නම් අද මේ තරම් දික්කසාද නඩු තියෙන්නේ බෑනේ. හැමතැනම තියෙන්නේ ආකර්ශනයක් ම විතරමයි. මේ ලෝකේ පවතින්න ලිංගිකත්වය ඕනේ. ඒක සාමාන්‍යයි.හැබැයි කාන්තාවන් විදිහට අපි මේ ගැන වැඩිපුර හිතන්න ඕනේ. විදවන තැනට වැටෙන්නේ නැතුව කාන්තාවක් විදිහට ශක්තිමත් වෙන්න , ධර්මයෙන් පෝෂණය වෙන්න. දැන් මේ යථාර්ථය තේරුම් ගත්ත ගොඩාක් අය ඇති, නමුත් මේ තීරණය ගන්න බය ඇති. එහෙම අයට මෑණියෝ මොකද කියන්නේ, පියාඹන්න ඕනේනම් අත්තක වහන්න ඕනේ, හැබැයි අත්ත විශ්වාස කරලා නෙමෙයි අත්තටු විශ්වාස කරලා. මමත් මේ තීරණය ගත්තේ එහෙම තමයි. ඕනෑම කාන්තාවකට තමන්ව විශ්වාස කරලා මේ තීරණය ගන්න පුළුවන්. බාහිර ලෝකෙට නැමෙන්න එපා. තමන් තුලට නැමෙන්න..අන්තිම වශයෙන් මෑණියන්ට මොනවද මේක බලන කෙනෙකුට කියන්න තියෙන්නේ ? ආයුෂ, වර්ණ, සැප, බලය ලැබෙන්නේ අපි කරගෙන තියෙන කුසල් නිසා, ඒ ලැබිච්ච දේ අපි ආභරණයක් කරගෙන , දුර්ලබව ලැබිච්ච මනුෂ්‍ය ආත්මයෙන් නිවන් දකින්න ඕනේ. සදාකාලික නිවනකට අපි යන්න ඕනේ. කාන්තා දිනයේදී මට දෙන්න තියෙන හොඳම උපදෙස, කාන්තාවෝ විදිහට මේ ජිවිතේ ට එඩිතරව මුහුණ දෙන්න කියලා. ඒ වගේම, මං වගේ කසාවත දරන්න හැමකෙනාටම පුළුවන්කම ලැබිලා, ඒ සැනසීම ලබන්න පුළුවන් වෙන්න ඕනේ කියලත් මං අධිෂ්ඨාන කරනවා.

Share This Article