කවදාවත් නැතුව එදා එයා මට කාමරයට ගිහින් නිදා ගන්න කිවුවා.. දරුවන් දෙදෙනාගේ වියෝව ගැන පියා කියූ අමුතුම කතාව.. (Video)
Saturday, 25 February 2023 - 13:15 | Views - 3,908
ශෝචනීය හදකම්පා කරවන සිදුවීමක් කුරුවිට පොලිස් වසමේ කරපිංච ග්‍රාමයෙන්ද වාර්තා විය.

මුළු රටක් කම්පාවට පත් වූ එම සිදුවීමෙන් දිවි අහිමි වූයේ අවුරුදු හතක් වයසැති ගජේන්ද්‍ර කුමාර් සර්වනාද් සහ වයස අවුරුදු එකහමාරක් වන ගජේන්ද්‍ර කුමාර් නිෂාද් යන කුඩා පිරිමි දරුවන් දෙදෙනකුටය.

ඉකුත් 19 වැනිදා දහවල් මොවුන් පදිංචි ජෝකිම් වතුයායට ආසන්නව පිහිටා ඇති තේ වත්තක තිබී මොවුන්ගේ නිසල සිරුරු සොයා ගැනීමට පොලිසියට හැකිවූයේ ප්‍රදේශයේ කාන්තාවක් ඒ බව පොලිසියට දැනුම්දීමත් සමඟය. දරුවන්ගේ මවද තේ වත්තේම සිටියදී සොයා ගැනිණි. පසුව ඇය රෝහල්ගත කෙරිණි.

විමර්ශන ඇරැඹූ පොලිසියට දරු දෙදෙනාගේ මරණය කිසියම් ගැටලුවක් ගෙන දුන්නේය. එම මරණ ඝාතන බවට පොලිසියට සැක පහළ විය. දරුවන් යම් අයකු විසින් ඝාතනය කර තේ වත්තේ දමා යන්නට ඇති බවට සැකකළ පොලිසිය දරුවන් මරා දමා තිබූ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදී දරුවන්ගේ මවගෙන් එහි ඇත්ත නැත්ත විමසන්නට විය.

දරුවන්ගේ මවුපියන් පදිංචි කරපිංච නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කළ නිලධාරීන්ට මුලින්ම හමුව ඇත්තේ දරුවන්ගේ සීයාත්, නැන්දණියත්ය. නිලධාරීන් ඔවුන්ගෙන් මියගිය දරුවන් ගැන විමසද්දී ඔවුන් නිලධාරීන්ට පවසා ඇත්තේ දරුවන්ගේ මව දරුවන් දෙදෙනා සමඟ පෙරදා තුනයි තිහට පමණ නිවෙසින් පිටව ගිය බවකි. මෙම ප්‍රකාශයත් සමඟ පොලිසියේ සැකය දරුවන්ගේ මව වෙත එල්ල විය. දරුවන් ඇය විසින් ඝාතනය කරන්නට ඇති බව පොලිසියේ සැකය විය.

මව අවුරුදු 29 වයසැති තැනැත්තියක් වූවාය.

දරු දෙදෙනාගේ විපත ඇසීමත් සමඟ මුළු කරපිංච ගම්මානයම කම්පාවට පත්විය. ඒ ඔවුන් දෙදෙනා කාත් කවුරුත් හොඳින් දන්නා දරුවන් වූ නිසාය. ඔවුන් ජීවත් වූයේ ගමේ කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිවය.

පරමශිවා දරුවන්ගේ පියාය. ඔහු දරුවන්ට අසීමිතව ආදරය කළේය. ඔහු කිසිදා මත් වතුරක්, දුම්වැටියක් හෝ පානය කළේ නැත. හරිහම්බ කරන සෑම සතයක්ම ඔහු වියදම් කළේ බිරියට හා දරුවන්ටය.

සර්වනාද් කරපිංච ගමේ ශාන්ත ජෝකිම් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. සර්වනාද් පාසලට රැගෙන ගියේත් පාසල නිමවීමෙන් පසු ගෙදරට ගෙන ආවේත් ඔහුගේ පියා වූ පරමශිවාය. ඒ ඔහුට අයත් පාපැදියෙනි.

වෙනදාට පාසලට එන සර්වනාද් ඉකුත් 20 වැනිදා සඳුදා පාසලට ආවේ නැත. ඒත් සර්වනාද්ට අනතුරක් වී ඇති බව කරපිංච ගමේ ඉස්කෝලේ දෙතුන් දෙනෙක් ඒ වන විටත් දැන සිටියහ. ඒ ආරංචිය ළැව් ගින්නක් සේ පැතිර ගියේ ඉන් පසුවය.

“සර්වනාතුයි මල්ලිවයි මරලා දාලා” මේ ආරංචිය ඇසූ කරපිංචා ගමේ ජෝකිම් පාසලේ ගුරු මණ්ඩලයද මහත් කම්පාවට පත්වූහ. ඒ ඔවුන් මෙසේ මරා දමන්නට තරම් සැහැසි වූයේ කවුරුන්ද යන්න දැනගැනීමට නොහැකිව තිබූ නිසාය.

මේ සිදුවීමෙන් දරුවන්ගේ නැන්දණිය දැඩිලෙස කම්පනයට පත්ව සිටියාය. ඒ ඇයද මේ දරුවන්ට දැඩි ලෙස ආදරය කළ නිසාය.

ශෂිකලා දේවි දරුවන්ගේ වියෝව දරාගත නොහැකිව මෙසේ පවසන්නට වූවාය.

“18 වැනිදා ශිව රාත්‍රි දිනය නිසා මම පත්තිනි කෝවිලට ගියා. මම කෝවිලට ගිහින් එනකොට සවස 3ට විතර ඇති. ඒ එද්දී ගෙවල් ළඟ ඉන්න කොල්ලෙක් මට කිව්වා අක්කා ළමයි දෙන්නත් අරගෙන කෝවිල පැත්තට ගියා කියලා.

මම ගෙදරට ගියා. ඒ වෙනකොට අයියා ගෙදර ඇවිත් නිදාගෙන සිටියා. එයා කලින්දා කෝවිලේ වැඩට උදව්වට ගිහින් හිටියේ. මම අයියා ඇහැරවලා කිව්වා අක්කා දරුවන් දෙන්නත් එක්ක කෝවිල පැත්තට ගියා කියලා…”

“ඒත් එක්කම අයියා අක්කා හොයන්න කෝවිල පැත්තට ගියා. ඒත් අක්කත් දරුවනුත් හොයා ගන්න බැරිවුණා. අක්කගේ මුල්ගම යටියන්තොට. අන්තිමට අයියා යටියන්තොටටත් ගියා. එහෙත් අක්කා හිටියේ නැහැ.

අයියා හිතුවා මෙයාලා බස් රියෙන් යටියන්තොටට යද්දී කට්ටියට නින්ද ගිහින් සමහර විට කෑගල්ලටවත් ගියාද දන්නෙ නෑ කියලා. අයියා කෑගල්ලටත් ගියා. ඒ අතරේ තමයි මට ආරංචි වුණේ දරුවෝ දෙන්නා මරලා තේ වත්තේ දාලා කියලා. ඒත් මම අයියට කිව්වේ නැහැ. අයියා මොනවහරි කරගනී කියලා.

පස්සේ බැරිම තැන මම අයියට කිව්වා ඉක්මනට එන්න දරුවෝ දෙන්නා ක්ලාන්තයක් හැදිලා තේ වත්තේ වැටිලා ඉඳලා හම්බවුණා කියලා. අයියා හවස් වෙද්දි ගෙදර ආවා. ඒ වෙනකම් අයියා දැනගෙන හිටියේ නැහැ.

“අයියා ගෙදර ඇවිත් දරුවොයි අක්කයි කෝ කියලා ඇහුවා. අපි කිව්වා එයාලා තේ වත්තේ ඉන්නවා කියලා. පස්සේ අපි අයියව තේ වත්තට එක්කගෙන ගියාට පස්සේ තමයි අයියා සිද්ධිය දන්නේ. දරුවෝ දැකලා අයියා පොළොව බදාගෙන ඇඬුවා. තවමත් අයියා ඉන්නේ හරිම දුකෙන්. යලත්.”

එය ඇත්තකි. පරමශිවා තවමත් සිටින්නේ දැඩි කම්පනයෙනි. දරුවන් මියගොසිනි. බිරිය සිහිමඳ ගතියෙන් රෝහල් ගතකර තිබිණි. අනේ මගේ පවුලට වෙච්ච දේ. ඔහු එසේ කියමින් හඬා වැලපෙන්නට විය. ඔහු අස්වසන්නට බොහෝ දෙනකු උත්සාහ ගත්තද ඉන් ඵලක් නොවිණි.

නිලධාරීන් දරුවන්ගේ මවගෙන් ප්‍රශ්න කළද ඇය සිහිමඳ ගතියෙන් මොනවදෝ ‍ෙදාඩවන්නට වූවාය. ඒ නිසා නිලධාරීන් ගමේ පදිංචිකරුවන්ගෙන්ද ප්‍රශ්නකොට තොරතුරු සොයා ගන්නට පෙලඹුණේය.

“මෙයා දරුවෝ දෙන්නත් එක්ක ඔය තේ වත්තේ ඉන්නවා මම දැක්කා.”

ගමේ පදිංචි කාන්තාවක් පොලිසියට කීවාය. ඒ අතර තවත් පදිංචිකරුවෙක් කීවේ ‘දරුවන් නැතිව තේ වත්තේ ඇය වාඩි වී සිටින අයුරු දුටු බවය.

දරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කර ගැනීමට රෝහල් ගතකර සිටි දරුවන්ගේ මවගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා යළි යළිත් තොරතුරු විමසන්නට විය.

“දරුවෝ දෙන්නම ළිඳට වැටුණා. මම එයාලාව ළිඳෙන් ගොඩට අරන් තේ වත්තේ තිබ්බා.”

ඇය ස්ථානාධිපතිවරයා හමුවේ වරෙක කීවාය. “ලොකු පුතා වතුර බොන්න කියලා ළිඳට ගියා. ඒ වෙලාවේ එයා ළිඳට වැටුණා. මම එයාව ගොඩට ගන්න ගිය වෙලාවේ පොඩි පුතාත් ළිඳට වැටුණා.”

ඇය තවත් වරෙක ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය. ඇගේ ප්‍රකාශ නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේය.

දරුවන්ගේ මරණය සිදුවූ හැටි නිවැරැදිව තහවුරු කර ගැනීමට හොඳම දෙය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම බව ස්ථානාධිපතිවරයාට වැටහුණේය. ඒ අනුව සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් පසු දරුවන්ගේ සිරුරු සම්බන්ධ මරණ පරීක්ෂණය රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මුදිත කුඩාගම මහතා විසින් පවත්වනු ලැබීය. අවසානයේ ඔහු දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීවේ දරුවන්ගේ මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුව ඇති බවය.

වෛද්‍ය නිගමනය එසේ වුවද පොලිසියේ සැකය නොයෙකුත් පැති වෙත එල්ල විය.

“මේ ගෑනි දරුවෝ ළිඳට දැම්මාවත්ද?”

එහෙත් ඒ බවට ඇසින් දුටු සාක්කි කිසිවක් නැත. ඇත්තේ, දරුවන්ගේ මව පවසන පරස්පර අදහස් පමණය. මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුර මහතා පවසන්නේ මෙවැන්නක්ය.

“මේ දරුවන්ගේ මරණ ගැන අපිටත් ඇත්තේ ලොකු දුකක්. දැනට කරලා තියෙන විමර්ශනයේදී අපි සැක කරන්නේ මව විසින් මේ දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බවයි.”

“මේ ගෑනු කෙනා ඒ මොහොතේ වේදනා නාශක පෙති 37ක් එකවර බීලා තියෙනවා. ඒ නිසා එයාව රෝහල් ගත කළා. එයා ඉන්නේ සිහිමඳ ගතියකින්.

එක වතාවක එයා කිව්වා දරුවෝ දෙන්නත් එක්ක යටියන්තොට අම්මගේ ගෙදර යන්න හිතාගෙන ගෙදරින් ආවා. ඒ එන අතරතුරදී ලොකු පුතාට තිබහක් හැදිලා එයා ළිඳක් ළඟට ගිහින් වතුර බොන්න හදද්දී ලොකු පුතාව ළිඳට වැටුණා කියලා. එයා ලොකු දරුවා ගොඩට ගන්න හදනකොට දෙවැනි දරුවත් ළිඳට වැටුණා. එයා දරු දෙන්නම ළිඳෙන් ගොඩට ගත්තත් දරුවෝ ඒ වෙනකොටස් මැරිලා හිටියේ. පස්සේ ඒ ළඟ තිබූ තේ වත්තේ රෙද්දක් එළලා දරුවෝ දෙන්නා ඒ රෙද්ද උඩින් තිබ්බා කියලත් එයා කිව්වා”

පස්සේ එයාට දුකක් ඇතිවුණා. ඒ නිසා වහ බීලා ජීවිතේ නැතිකර ගන්න ඕන කියලා හිතිලා වස බෝතලයක් හෙව්වත් ඒක හම්බවුණේ නැති නිසා බෙහෙත් පෙති කාඩ් හතරක් අරගෙන ඒ පෙති ඔක්කොම එක පාරට බීලා එතැන තිබූ ගහට ලණුවක් දාලා ජීවිතේ නැතිකරගන්නට ගියත් බිමට වැටුණු නිසා ඒකත් හරි ගියේ නැහැ කියලා. මම ඒ ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කරද්දි කිව්වා.

මේ එයා කියන කතාව. මරණ පරීක්ෂණයේදී තහවුරු වුණෙත් දරුවෝ දියේ ගිලිලා හුස්ම හිරවීමෙන් මැරුණා කියලා. ඒත් මෙතන ප්‍රශ්නේ දරුවෝ ළිඳට වැටුණද ළිඳට දැම්මද කියන එකයි. ඒ නිසා තවදුරටත් විමර්ශනය කරනවා.”

ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී අවධාරණය කළේය.

මේ නිසා දරුවන්ගේ මරණ තවමත් අබිරහසකි.

අබිරහසක්ව පැවැති දරුවන්ගේ මරණ ගැන කරපිංච ගම්මානය පුරා නොයෙකුත් කට කතා පැතිර යමින් තිබේ.

“මේ මරණ දෙක ගැන තවමත් අපි ඉන්නේ සැකයෙන්. ඒ, දරුවන් ළිඳට වැටුණාද, මරලා ළිඳට දැම්මද නැත්නම් ළිඳට දාලා මැරුවද කියලා සැකයෙන්. මොකද මේ තේවත්ත තියෙන පැත්තෙන් නිතර ගමේ මිනිස්සු යනවා එනවා. ඒත් ගමේ එක්කෙනෙක්වත් මේ සිද්ධිය දැකලා නැහැ.”

“18 වැනිදා හවස තමයි මේ ගෑනු කෙනා දරුවෝ දෙන්නත් එක්ක ගෙදරින් ගිහින් තියෙන්නේ. මෙයාලගේ ගේ තියෙන්නෙත් ඊට කිලෝමීටර් බාගයක් විතර දුරින්. අනිත් එක ඔය ගෑනු කෙනයි එයාගේ මහත්තයයි ඔය දරුවෝ දෙන්නට හරිම ආදරෙයි. ඒ නිසා මෙහෙම දරුවන් මැරුවයි කියන එකත් තවත් ප්‍රශ්නයක්” ප්‍රදේශවාසියකු මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියන්නට විය.

කෙසේ වෙතත් දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් යමක් දැනගැනීමට නොහැකි වී ඇති නිසා කම්පාවට පත්ව සිටින ඔවුන්ගේ පියා පරමශිවා ගජේන්ද්‍රන් මුණගැසීමටද අපට හැකි විය.

“මම කවදාවත් මගේ පවුලත් එක්ක රණ්ඩු වෙලා නැහැ. එයා වගේම මමත් දරුවන්ට ගොඩාක් ආදරෙන් හිටියේ. අපි දෙන්නා අතර ප්‍රශ්න තිබ්බේ නැහැ. කුලී වැඩකරලා හම්බ කරන හැම ශතයක්ම මම දරුවන්ගේත් බිරියගේත් වුවමනා එපාකම්වලට වියදම් කළා. ගෑනිටත් දරුවන්ටත් කිසිම දුකක් දුන්නේ නැහැ.

මට මේ පැත්තේ සිංහල, දෙමළ සේරම අය හරිම ආදරෙයි. දරුවන්ටත් එයාලා ආදරෙයි. ඒ නිසා හැමදාම මට ගමේ මොකක් හරි කුලී රස්සාවක් ලැබුණා. බිරියට දැනගන්න තරම් ලොකු අසනීපයක් තිබුණෙත් නැහැ. දරුවන්ටත් බිරියටත් කුඹුරු බත් දෙන්න ඕන නිසා මම පිට අයෙක්ගෙන් කුඹුරකුත් ඉල්ලගෙන වැඩ කළා”

පසුගිය 18 වැනිදා කෝවිලේ වැඩක් කරලා දහවල් 2ට විතර මම ගෙදර ආවා. ඒ ආව ගමන්ම ගෑනි මට තේ එකක් හදලා දුන්නා. ටිකක් මහන්සි නිසා මම සාලේ බිම හාන්සි වුණා. පුතාට කියලා ඇඟත් ටිකක් පාගා ගත්තා. ඒ වෙලාවේ බිරිය ඇවිත් කිව්වා කාමරේට ගිහින් හාන්සි වෙන්න කියලා. මම හැමදාම දවල්ට ගෙදර ආවොත් සාලේ තමයි හාන්සි වෙන්නේ. එහෙම ඉන්න එක දවසක්වත් බිරිය මට කාමරේට ගිහින් නිදාගන්න කියලා කියා නැහැ. ඒත් මට එයා එදා එහෙම කිව්වා. ඒ නිසා මම කාමරේට ගිහින් නිදාගත්තා.

හතරට විතර ඇති. මගේ හිතේ ‘නංගි ඇවිත් කිව්වා ළමයි දෙන්නයි අක්කයි ගෙදර පේන්න නැහැ කියලා. එයා මට නොකියා කොහේවත් යන්නේ නැහැ. ලොකු පුතාත් මිදුලට ගියත් මට කියලා තමයි යන්නේ.

පස්සේ මම අහල පහල හැම තැනකම ගෑනිවයි දරුවෝ දෙන්නවයි හෙව්වා. බස් එකක නැඟලාවත් ගියාද කියලා බැලුවා. ත්‍රීවීල්පාක් එකට ගිහින් ඇහැව්වා දරුවෝ දෙන්නයි බිරියයි ත්‍රීවීලරයක නැඟලාවත් ගියාද කියලා. ඒත් එහෙම ගිහින් තිබුණෙත් නැහැ.

පස්සේ මම යටියන්තොට ඉන්න එයාලගේ අම්මා ගෙදරට ගියාවත්ද කියලා හිතලා. මම බස් එකකින් යටියන්තොටට ගියා. ටවුමට ගියත් එතැනින් එයාලගේ ගෙදරට යන්න බස් තිබුණේ නැහැ. ඒ නිසා මම නැන්දම්මාගෙන් ටැලිෆෝන් කරලා ඇහුවා දරුවොයි ගෑනියි ආවද කියලා.

නැන්දම්මා කිව්වා එහෙට ආවේ නැහැ කියලා. පස්සේ මට හිතුණා මෙයාලා බස් එකේදී නින්ද ගිහින් යටියන්තොටින් බහින්න අමතක වෙලා කෙළින්ම කෑගල්ලටවත් ගියාද කියලා. පස්සේ මම කෑගල්ලටත් ගිහින් මෙයාලව හෙව්වා. හැමතැනම බැලුවා. ඒත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ.

පස්සේ නංගි මට කෝල් කරලා කිව්වා අසනීප වෙලා බිරියව රත්නපුර ඉස්පිරිතාලෙට ඇතුළු කළා දරුවෝ දෙන්නා ගෙදර එක්කගෙන ආවා කියලා. පස්සේ මම බිරියව බලන්න රත්නපුර ඉස්පිරිතාලෙට ගියා. එයාවත් බලලා දරුවෝ බලන්න කියලා. ඉක්මනට ගෙදර ගියා. පස්සේ නංගි කිව්වා ‘දරුවෝ දෙන්නා කෝ කියලා ඇහැව්වම එයාලා කිව්වා ක්ලාන්තයක් හැදිලා ඒ දෙන්නා තේවත්තේ වැටිලා ඉන්නවා කියලා. මට ලොකු දුකක් ආවා. මම තේ වත්තට දුවලා ගියා. එතකොට තමයි මම දැක්කේ දරුවන්ට වෙලා තියෙන දේ. මගේ පවුලට වුණු දේ මට හිතාගන්නවත් බැහැ මහත්තයා.

මම ලොකු පුතාට හරිම ආදරෙයි. මම වැඩක් කරලා ගෙදර ආව ගමන් ලොකු පුතා මට කියනවා “වරෙන් මචං ගහගන්න කියලා” පස්සේ අහනවා තාත්තේ මම තාත්තට මචං කියලා කතා කළාට කමක් නැද්ද. මට පවු පිරෙනවද එහෙම කිව්වම කියලා අහනවා.

එතකොට මම කියනවා පුතාගේ හොඳම යාළුවා මමනේ. ඒ නිසා තාත්තට මචං කිව්වට කමක් නැහැ කියලා. පස්සේ අපි දෙන්නා සෙල්ලමට ගහගන්නවා. පුතාට චුට්ටක් හරි රිදුනොත් මට දුකයි. එහෙම වුණාම මට පුතාට රිදුණු තැන අතගානවා. ඒක අමතක වෙන්න එයා මට සිංදුවක් දාලා නටන්න කියනවා. මම නටනවා. දරුවෝ දෙන්නා මම නටන දිහා ආශාවෙන් බලන් ඉන්නවා. ඒ දෙන්නට මමයි බිරියයි හොඳට නටන්න පුරුදු කරලා තියෙන්නේ.

පරමශිවා එසේ පැවසුවේ ඉකි ගසමිනි. එය අපටද ගෙන දුන්නේ මහත් දුකකි..

කෙසේ වෙතත් රටම කම්පා කරමින් මියගිය හත් හැවිරිදි ගජේන්ද්‍ර කුමාර් සර්වනාද්ගේ සහ අවුරුදු එකහමාරක් වයසැති ගජේන්ද්‍ර කුමාර් නිෂාද් යන පුතුන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගියදා සිදුකෙරුණු අතර දැඩි ලෙස කම්පාවට පත්ව සිටි පරමශිවා ඒ අවස්ථාවේ දරුවන්ගේ දේහයන් අසල නටමින් සිටින අයුරු දුටු ගම්වාසීහුද පුදුමයට පත්වූහ.

“මගේ අහිංසක දරුවෝ දෙන්නා අවසන් ගමන් යන්න හදන වෙලාව. මට දරාගන්න බැරිවුණා. මම වළ ගාවත් සිංදුවක් දාලා නැටුවේ ඒ දෙන්නව අන්තිම තප්පරයේත් සතුටු කරන්නයි. අනේ දෙවියනේ, ආත්මයක් ආත්මයක් ගානේ මට මගේ දරුවෝ දෙන්නව ලැබෙන්න ඕනෑ.”

පරමශිවා එසේ කියන්නේ සිය දෑත්වලින් පපුවට ගසා ගනිමිනි.

එය ඇත්තෙන්ම සංවේදී මොහොතකි.

දරුවන්ද අවසන් ගමන් ගොසිනි. බිරියද රෝහල් ගතකර තිබේ. දරුවන්ද බිරියද නැති සොවින් පරමශිවාගේ වේදනාව ඉහවහා ගොසිනි. ඔහු දරුවන්ගේ සොහොන බදාගෙන හඬා වැළපෙන්නට වූයේ වෙන කරන්නට දෙයක් නොවූ හෙයිනි. ඔහුගේ ඉකිගැසීම තවමත් නතරව නැති සැටියෙකි. ඒ වේදනාව දැනෙන්නේ දරුවන්ට පණ මෙන් ආදරය කළ පරමශිවා වැනි පියකුට පමණි.

“අපිට තිබෙන බය අයිය එයාගේ ජීවිතේටත් මොනවා හරි කරගනීද කියලා. අයියා ඒ තරම් හිතේ අමාරුවෙන් ඉන්නේ.”

පරමශිවාගේ නැඟණිය අප සමඟ එසේ පැවසුවේ කරපිංච ගමෙන් අපි සමුගන්නට මොහොතකට කලිනි.

වේදනා නාශක පෙති පානය කිරීමෙන් සිහිමඳ ගතියෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරු දෙදෙනාගේ මව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණද සැකකාරියගේ අසනීප තත්ත්වය සුව නොවීම නිසා බන්ධනාගාර බලධාරීන්ගේ රැකවරණ යටතේ ඇය යළිත් රෝහල්ගත කෙරිණි.

- කීර්ති මෙන්ඩිස් කුරුවිට-කේ.ඒ.එස්. පියතිලක
- මව්බිම

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top