ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණු ඔවදන (Video)
Friday, 17 February 2023 - 7:58 | Views - 341

යතුරුපැදි හිස් ආවරණවලින් සිදුකළ අමානුෂික පහරදීමකින් ඝාතනයට ලක් වූ රංග විරාජ් නැමති ගුරුවරයාගේ දේහය අද (16) අලුයම ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි බාලවයස්කාර සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙම අමානුෂික ඝාතනයට මුල් වී ඇත්තේ අදාළ ගුරුවරයා විසින් මහමගදී දුන් අවවාදයක්.
රංග විරාජ් ජයසිංහ මතුගම කුරුදිප්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 34 වැනි වියේ පසු වූ ගුරුවරයෙක්.
පසුගිය 14 වැනිදා පස්වරුවේ සිය නිවසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන ඒම සඳහා ගල්මත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඔහු මුහුණ දෙන්නේ අනපේක්ෂිත අත් දැකීමකටයි.
ආරක්ෂිත හිස් වැසුම් පැළඳීමකින් තොරව යතුරු පැදි වලින් ගිය බාල වයස්කාර තරුණයින් තිදෙනෙකුට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ ගමන් කරන්නැයි ඔහු පවසා තිබුණේ සැබෑ ගුරුවරයෙකුගේ වගකීම පෙරදැරිවයි.
නමුත් ඔහුගේ ඔවදන් පිළිගැනීම වෙනුවට කුපිත වූ තරුණයින්ගෙන් එල්ල වුණේ කිසිවෙකුත් නොසිතූ ප්‍රතිචාරයක්.
ඔවුන් අත තිබූ හෙල්මට් වලින් විරාජ්ට අමානුෂික ආකාරයෙන් පහර දී තිබුණා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ විරාජ් වැලිපැන්න රෝහලට ඇතුළත් කෙරුණු නමුත් එහිදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
මාස 11ක් වයසැති තම දියණිය සහ දයාබර බිරිඳ සදහටම මේ ලොව තනි කරවන්නට තරම් තම ඔවදන දුරදිග යනු ඇතැයි රංග කිසිදා නොසිතන්නට ඇති.
මෙම අමානුෂික ඝාතනය පිළිබඳ සමාජ මාධ්‍යයේ ද සටහන්ව තිබුණේ මෙලෙසින්.
සිද්ධියට සැකපිට වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනු 16 හැවිරිදි බාලවයස්කාර සැකකරුවන් තිදෙනා 11 වසර අධ්‍යාපනය ලබන සිසුන් බවටයි අනාවරණ වී තිබෙන්නේ.
අදාළ සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 28 වැනිදා දක්වා මාකොළ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවන ලෙසයි.
Share This Article