මංගල, කාංචන සහ කණ්ඩුල භාර දීම නීති විරෝධී ද? අධිකරණයෙන් නියෝගයක්
Wednesday, 15 February 2023 - 12:27 | Views - 504

මංගල, කාංචන සහ කණ්ඩුල භාර දීම නීති විරෝධී ද? විශේෂ විමර්ශනයකට අධිකරණයෙන් නියෝගයක්.
ගෘහස්ථව හස්තියකු රඳවාගෙන සිටීමට අවශ්‍ය කරන නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිව නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි හස්තීන් තිදෙනකු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීත්‍යනුකූල නොවන අයුරින් නැවතත් එම හස්තීන්ට අයිතිවාසිකම් දැක්වූ පුද්ගලයින්ට බාරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අධිකරණය පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙලස වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි මංගල, කාංචන සහ කණ්ඩුල යන හස්තීන් භාර දී ඇත්තේ නීති විරෝධී ලෙස හස්තීන් භාරයේ තබා ගත් සිද්ධියකට පෙර වරදකරු බව පිළිගෙන දඩුවම් නියම කළ තලවතුගොඩ පදිංචි මහින්ද ගලප්පත්ති නැමැති පුද්ගලයෙකු වෙතයි.
මියන්මාරයේ සිට රුපියල් ලක්ෂ 33 මුදලකට අලි පැටියෙක් ගෙන්වා දෙන බවට සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මෙම සිද්ධිය අනාවරණය වූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කියා සිටියා.
"ස්වාමීනි මෙම පුද්ගලයා ට මෙම හස්තීන් තිදෙනා භාර දී ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත. ඊට අමතරව ඇසළ නැමැති හස්තියා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් බාර දී තිබෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම හස්තීන් මුදා හැර තිබෙන්නේ නීත්‍යානුකූල නොවන අයුරින්. 2015.04.29 වනදා ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු විසින් රාජසන්තක කළ හස්තීන් පෙර නඩුවේ වරදකරු ට ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබෙනවා".
ගෘහස්ථව අලි ඇතුන් භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුව සන්තකයේ ඇති නීත්‍යානුකූල පුස්තකය හෙවත් "අලි පොත" අතුරුදන් කර මෙම සත්ත්වයින් නීති විරෝධී ලෙස ගෘහස්ථ හීලෑ අලි ඇතුන් ලෙස රඳවාගෙන සිටි බවටයි ඔවුන් ගේ හිමිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර එහි ප්‍රතිඵල අධිකරණයට දන්වන ලෙස කොටුව මහෙස්ත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළා.
Share This Article