විශ්‍රාමිකයන් සේවයේ යොදවන්න - දුම්රිය බලධාරීන් අද විශේෂ හමුවක
Monday, 09 January 2023 - 7:27 | Views - 349

වයස අවුරුදු 60 ඉක්මවූවන් සේවකයින් විශ්‍රාම යාමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වූ පුරප්පාඩු සඳහා විශ්‍රාමිකයන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් අද (09) රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
දුම්රිය බලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කර ගැණෙනු ඇති.
එමෙන්ම දුම්රිය සේවය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යම පිරිස් කොන්ත්‍රාත් පදනම මත තවත් වසරක කාලයක් සඳහා සේවයට බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.
පසුගිය ජනවාරි පළවැනිදා සිට වයස අවුරුදු 60 ඉක්මවූවන් 500කට අධික සේවක පිරිසක් විශ්‍රාම යාමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරු, රිය සහායක, නියාමක, ස්ථානාධිපති, ධාවනාගාර, කාර්මික ශිල්පීන් හා මාර්ග නඩත්තු ඇතුළු අංශවල 8000කට අධික පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වුණා.
එම තත්ත්වය හමුවේ දෛනික දුම්රිය ගමන්වාර බොහෝ ප්‍රමාණයක් අවලංගු වූ අතර අද (09) උදෑසන මහනුවර සිට කොළඹ බලා අලුයම 5.45ට ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ද අවංලගු කර ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article