අද (27) සිට නැවතත් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන 30 වැනි දා දක්වා මෙම විදුලි කප්පාදුව බලාත්මක වනු ඇති.
අදාළ විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20ක් පවතින බව යි මහජන උපයෝගිත කොමිසම සඳහන් කරන්නේ.
මෙම විදුලි කප්පාදුව දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැය යි විනාඩි 20ක් ලෙස විදුලිය විසන්ධි වනු ඇති.
මේ අතර, විදුලිබිල වැඩි කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින්.
දරාගත නොහැකි අන්දමින් විදුලිබිල ඉහළ දැමීම නිසා මානව හිමිකම් කඩවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි අරමුණ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි සඳහන් කළා.
විදුලිබල මණ්ඩලය සහ මීට අදාළ ආයතන වල නිලධාරීන් නිසි පරිදි රාජකාරිය ඉටුකර තිබේද යන්න සම්බන්ධයෙන් ද මෙහි දී කොමිසම අවධානය යොමු කරනු ඇති.
අදාළ විමර්ශනය දැනට ආරම්භ කර ඇති අතර එහි දෙවන වටය මෙම සතියේ ආරම්භ කරන බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි කියා සිටියේ.
විමර්ශනය කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් නිකුත් කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.