ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන (Video)
Friday, 16 December 2022 - 13:24 | Views - 942

බොරැල්ල පොදු සුසාන භූමියේ දී දෑත් ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටි 143ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන්ද මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි එම දෙපාර්ත්මේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම බොරැල්ල පොදු සුසාන භූමියේ සහ ඒ අවට ඇති සී සී ටී වී කැමරා මෙන්ම දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමද ආරම්භ කර තිබෙනවා.
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කෙරුණේ සුසාන භූමිය තුළද, එසේ නොමැති නම්, ඉන් පිටත ස්ථානයකදීද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්වරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර්, ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර් ගේ පුත්‍රයෙකු වනවා.
ඊයේ පස්වරු 2ත් 3ත් අතර, ඔහු කොල්ලුපිටිය මල්පාරේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සාකච්ඡාවක් සඳහා යන බව බිරිඳට පවසමින්.
කෙසේ වෙතත් තමන්ගෙන් රුපියල් කෝටි 143ක ණය මුදලක් ලබාගත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට ඔහු සිය ලේකම්වරයාට සඳහන් කර ඇති බවයි බොරැල්ල පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
ප්‍රසිද්ධ ඇඳුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත්වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස් මෙම මුදල වංචා කළ බවට 2019 වසරේ මාර්තු 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර, එම පැමිණිල්ලට අදාළව බ්‍රයන් තෝමස් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ සාමාජිකයන් ඊයේ රාත්‍රියේ බි්‍රතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබී ඇති බවයි වාර්තාවන්නේ.
දිනේෂ් ෂාෆ්ටර් නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ, ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
එහෙත් ඒ වනවිට දුරකථනය ක්‍රියාවිරහිත වී තිබී ඇති අතර, දුරකථන සංඥා අනුව ඔහුගේ බිරිඳ පසුව අනාවරණ කරගෙන ඇත්තේ ඔහු බොරැල්ල පොදු සුසාන භූමිය අසළ සිටින බවටයි.
ඒ අනුව ඇය, ඔහුගේ ලේකම්වරයා එම ස්ථානයට පිටත් කර යවා ඇති අතර, එහි දී මෝටර් රථයේ රියදුරු අසුනේ අසාධ්‍ය තත්වයෙන් සිටින දිනේෂ් ෂාෆ්ටර් දැක තිබෙනවා.
ඔහුගේ අත් පා බැඳ, ගෙළ ද ප්ලාස්ටික් පටියකින් ගැටගසා සිටින අයුරු නිරීක්ෂණය කළ ලේකම්වරයා උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර, එම අවස්ථාවේ සුසානභූමි සේවකයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
පසුව ඔහුගේද සහය ඇතිව දිනේෂ් ෂාෆ්ටර් ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, රාත්‍රියේදී ඔහු මියගියා.
මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය වෙත ඇතුල්වී ඇත්තේ කාසල් වීථිය ආසන්නයේ ෆාම් පාර පෙදෙසේ ඇති ගේට්ටුවෙන් බවයි.
එසේ ඇතුලු වූ රථය ආදාහානාගාර දෙක සහ තුන යන ස්ථාන අතර, ඇති පාලු ප්‍රදේශයක් වන ගුවන් හමුදා ස්මාරකයක් අසළ නවතා තිබෙනවා.
Share This Article