නව කාල සටහන - ලබන සතියේ
Thursday, 24 November 2022 - 14:05 | Views - 502

සංශෝධිත දුම්රිය කාලසටහන ලබන සතිය තුළ නිකුත් කිරීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව සංශෝධිත කාලසටහන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ සඳහන් කළේ.
දුම්රිය වේග සීමා පැනවීමත් සමඟ දුම්රිය කාලසටහන සශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගත්තා.
දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගෙන දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේගසීමා පනවනු ලැබුවා.
මේ අතර මෙම වසර තුළ පමණක් දුම්රිය මාර්ගවල දුම්රිය පීලිපැනීම් 44ක් වාර්තා වී ඇති අතර, දුම්රිය අංගනවල දී පීලිපැනීම් 37ක් වාර්තා වී ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.
දුම්රිය කාලසටහන් සශෝධනය කිරීමෙන් දුම්රිය පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.
එමෙන්ම අද උදෑසන මීරිගම සිට කොළඹ කොටුව බලා ධාවන වූ දුම්රියක් වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී තිබුණා.
මේ අතර පිට පළාත්වල සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරින් සේවයට වාර්තා කිරීමේදී සහන කාලයක් ලබා දීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නියමිත රාජකාරියට වාර්තා කිරීමේදී පැය භාගයක සහ ඉන් පිටවීම සඳහා ඉන් පිටවීමේදී පැයක කාලයක් ලෙස සහන කාලයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
මෙම සහන කාලය ලබා ගන්නා නිලධාරින් දිවා ආහාර වේලාව තුළ අදාළ රාජකාරි හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කළ යුතු බව ද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
Share This Article