ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සඳහන් කර ඇත්තේ, ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන සිද්ධිය පිළිබඳව තම ආයතනය තහවුරු කරන බවෙත් ඔහු හෙට (නොවැ. 7) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද උපදෙස් ඇතිව එම අධිකරණය ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන බව එහි තව දුරටත් දැක්වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන බව ත් එමගින් ධනුෂ්ක ගුණතිලක වරදකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (31) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ අද (6) අලුයම් කාලයේදී යි.
සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ.
මෙම සතිය මුලදී රෝස් බේහි නිවසකදී 29 හැවිරිදි කාන්තාවක ලිංගික අතවරයකට ලක්ව ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකින් පසු අද අලුයම ඔහු සිඩ්නිහි හෝටලයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව යි එම වාර්තාවල දැක්වුණේ.
ඔන්ලයින් යෙදුමක් (dating app) හරහා දින ගණනාවක් ඔහු සමග අදාළ කාන්තාව සන්නිවේදනය කර ඔහු හමු වී ඇති අතර පසුව ඔහු නොවැ 2 බදාදා සවස ඇයට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇතැයි නිව් සවුත් වේල්ස් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක සඳහන්.
ඔහු මේ වන විට සිඩ්නි පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුට එරෙහිව “කැමැත්තෙන් තොරව සිව් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණු” බවට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
2022 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට සිටියදී ඔහු මෙම චෝදනාවට ලක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව නැමීබියාව සමග පැවති පළමු තරගයට ක්‍රීඩා කළ ඔහු අබාධයක් හේතුවෙන් සෙසු තරගවලින් ඉවත් කෙරුණා.
ඔහු වෙනුවට අශේන් බණ්ඩාර ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත්ත ද ධනුෂ්ක ගුණතිලක යළි ශ්‍රී ලංකාවට එවීමට බලධාරීන් කටයුතු කර නොතිබුණු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති අංශයේ ප්‍රධානි, නීතිවේදී ආචාර්ය චානක සේනානායක පැහැදිළි කිරීමක් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්...