මහා පරිමාණ මුදල් වංචාවක යෙදුණු බව කියන තිළිණි ප්‍රියමාලි මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.
ඇය මෙලෙස වංචා කළ මුදල රුපියල් කෝටි 350කටද අධිකය.
ඒ, දැනට ඇයට එරෙහිව ලැබුණු පැමිණිලිවලට අනුවය. ඇයට මේ ඉරණම අත්වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරනු ලැබූ මුල් පැමිණිලි දෙකක් නිසාය.
ඉන් එක් පැමිණිල්ලක් යොමු කරනු ලැබුවේ කොළඹ ගාලුමුවෙදාර පදිංචි අබ්දුල් සත්කාර්ය. තිළිණි ඔහුට වංචා කළ බව කියන මුදල රුපියල් මිලියන 226කි. දෙවැනි පැමිණිල්ල රහස් පොලිසිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ අබ්දුල් හසන් කමල් හසන් නමැත්තාය. ඔහු සිය පැමිණිල්ලෙන් පවසා තිබුණේ තිළිණි ප්‍රියමාලි ඇමරිකානු ඩොලර් 60,000ක් ඕස්ට්‍රේලියානු ඩොලර් 1,00,000ක් සහ පවුම් 137ක රන් ආභරණ තොගයක්ද ලබාගත් බවය.කෙසේ වෙතත් මෙම මුදල් පියවීම සඳහා තිළිණි ප්‍රියමාලි මෙම ව්‍යාපාරිකයන්ට අගරු චෙක්පත් ලබාදී තිබිණි. ඒ අනුව ඔවුන් සිය පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ඇරඹීය. එම විමර්ශනයේදී හෙළිවූයේ වසා දැමුණු ගිණුමකින් තිළිණි ප්‍රියමාලි මෙම ව්‍යාපාරිකයන්ට අගරු චෙක්පත් ලබාදී ඇති බවය.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේය.තිළිණි එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ තිළිණිගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කොට ඇය එම මුදල්වලට වංචා කළ බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන්, ෙදාස්තරවරුන්, හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු කිහිපදෙනකුම තිළිණිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළහ.ඒ අනුව මේ වනවිට තිළිණිට එරෙහිව පැමිණිලි 12ක් රහස් පොලිසියට ලැබී ඇති අතර පැමිණිලිවල සඳහන් ආකාරයට තිළිණි වංචා කළ බව කියන මුළු මුදල රුපියල් කෝටි 350කට අධිකය.තිළිණිගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තද එම ප්‍රකාශයේ රුපියල් කෝටි 350කට වූ දේ නිවැරැදි ලෙස ඇය පවසා නැති අතර ව්‍යාපාරිකයන්ගේ පැමිණිලි මත තිළිණි සමඟ මෙම ගනුදෙනුවල නිරත වූ ඇගේ පෙම්වතා ලෙසත් ඇගේ සැමියා ලෙසත් සම්බන්ධ වුණු ඉසුරු බණ්ඩාර නමැත්තා වෙත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ඉන් පසුවය.ඊට හේතුව වූයේ තිළිණි මෙම පැමිණිලිකරුවන්ගෙන් මුදල්, රන් ආභරණ ලබාගන්නා අවස්ථාවලදී ඉසුරු බණ්ඩාරද ඇය සමඟ සිටි නිසාය. එබැවින් රුපියල් කෝටි 350කට වූ දේ සොයන්නට ඉසුරු බණ්ඩාරද රහස් පොලිසිය වෙත කැඳවනු ලැබීය.ඒ වනවිට අංශ 11ක් ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචාව ගැන විමර්ශන සිදුකළ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ඇතුළු කණ්ඩායම තිළිණිගේ පෙම්වතා බව කියන ඉසුරු ෂම්මික බණ්ඩාර යන අය සිය ඒකකයට කැඳවා කිහිප වතාවක්ම ප්‍රකාශ සටහන් කරගත්තේය. ස්ථානාධිපතිවරයා රුපියල් කෝටි 350ට සිදු වූ දේ ඉසුරු බණ්ඩාරගෙන් විමසුවද ඔහු දිගින් දිගටම පැවැසුවේ තමා ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවය.රුපියල් කෝටි 350ට සිදුවූ දේ දැනගැනීම සඳහා තිළිණිගේ බැංකු ගිණුම් දෙකම පරීක්ෂා කළද එහි වූයේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්ය.අවසානයේ ඔහු යොමු කෙරුණේ පැමිණිලිකාර කමල් හසන් විසින් තිළිණිට සහ ඉසුරුට එරෙහිව පැමිණිලි කරන ලද ඒකකයටය. එම ඒකකයේ නිලධාරීන් ඉසුරු බණ්ඩාරට කරුණු කාරණා පහදා දී තිළිණි සමඟ ගනුදෙනු කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක්ද ලබාගත්තේය.ඉසුරු ෂම්මික බණ්ඩාර වයස අවුරුදු 24ක පුද්ගලයෙකි.ඉසුරුගේ මව ගුරුවරියක් ලෙස සේවය කරන අතර පියා නාවික හමුදාවේ ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා නිවෙසේ පදිංචිව සිටී. ඔහු පවුලේ එකම ළමයාය.මහනුවර ප්‍රධාන පෙළේ විද්‍යාලයක අ.පො.ස. උසස් පෙළ දක්වා ඉගෙන ගත් ඉසුරු ඉන් අනතුරුව ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කර තිබිණි. ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු ලෙස කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් ඉංග්‍රීසි ටියුෂන් ලබාදීමද සිදුකර ඇති මොහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්‍යාවේදී උපාධි පාඨමාලාවක්ද හැදෑරූ අයෙකි.2017 වසරේ රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර ඇති ඉසුරු 2018 වසරේදී ලංකා ට්‍රැවල් නමින් අන්තර්ජාලය ඔස්සේ සංචාරක ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබිණි. සංචාරකයන් මෙරටට ගෙන්වීම එමඟින් සිදුකරනු ලැබීය. ඊට අමතරව රත්නපුර ප්‍රදේශයෙන් කුඩා මැණික් වර්ග ලබාගෙන ඒවා වැඩි මුදලට විදේශිකයන්ට අලෙවි කිරීමටද ඉසුරු කටයුතු කර තිබිණි.ඒ අතරතුර කුරුණෑගල ප්‍රදේශයේ තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගත් ඔහු කාලය ඇවෑමෙන් ඇය සමඟ ඇති වූ ප්‍රශ්න මත එම සබඳතාවද අතහැර දමා තිබිණි.තිළිණි ප්‍රියමාලි ඔහු දැන හැඳින ගන්නේ ඉන් පසුවය. ඒ 2019 වසරේ ෆේස්බුක් ගිණුමක් හරහාය. දෙදෙනා අතර ආදර සබඳතාව ටිකෙන් ටික ලියලා වැඩෙන්නට විය. සිනමන් ලේක් සයිඩ් හෝටලයේත් ජාවත්ත කොෆි බීන් ආයතනයේදීත් ඔවුහු හමුවූහ. දෙදෙනා අතර විශ්වාසයක්ද ඇති වන්නේ මේ හමුවීම් නිසාය.ඒ වනවිටත් ප්‍රියමාලිට එරෙහිව අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පැවැතිණි. ප්‍රියමාලි ඒ බව ඉසුරුට නොසඟවා කීවාය. ඇගේ පෞද්ගලික දේවල්ද ඇය ඔහුට කීවාය.“ඇත්තම කිව්ව නිසා මම එයාව විශ්වාස කළා. පස්සෙ එයා මට කිව්වා ජාඇළ ගෙදර නතර වෙන්න එන්න කියලා. ඒ වෙනකොට මම හිටියේ නාරාහේන්පිට පැත්තේ බෝඩිමක”ඉසුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ කියන්නට විය. ඇය සමඟ ජාඇළ නිවෙසේ පදිංචියට පැමිණෙන ලෙස ඇය බලකර සිටි බවද ඉසුරු ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය.ඇගේ ආරාධනාවට පිටුනොපෑ ඉසුරු අවසානයේ ජාඇළ නිවාස සංකීර්ණයේ ඇගේ නිවෙසේ තාවකාලික පදිංචියට ගියේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉසුරු බණ්ඩාරට කරුණු කාරණා පහදා දෙමින් සත්‍ය කරුණු පවසන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව ඔහු තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ ආකාරයද රහස් පොලිස් නිලධාරීන් හමුවේ හෙළිකර සිටියේය.ඒ 2020 වසරයි. තිළිණි ලෝක වෙළෙඳපොළේ බටහිර කුලුනේ 27 මහලේ තිකෝ කන්ස්ට්‍රක්ෂන් නමින් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඒ සඳහා පෞද්ගලික බැංකුවක කළමනාකාර අධ්යක්ෂවරයකුගේද සහාය ඇයට ලැබී ඇත.තිළිණිගේ මෙම ව්‍යාපාරය මඟින් චිත්‍රපට නිෂ්පාදනය කිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම ආදී දේ සිදු කෙරිණි. එහෙත් ඒ සඳහා කාර්ය මණ්ඩලයක් නොවීය. තිළිණිගේ ආයතනයට ලැබෙන කොන්ත්‍රාත් වෙනත් සමාගම්වලට ලබාදී කොමිස් මුදලක් ලබාගැනීමට තිළිණි ක්‍රියා කර තිබිණි.කෙසේ වෙතත් තිළිණි සහ ඉසුරු බණ්ඩාරගේ ප්‍රේම සබඳතාව දුරදිග යෑමත් සමඟ තිළිණි සමාජය ඉදිරියේ වරෙක ඔහු ඇගේ පෙම්වතා ලෙසත් තවත් වරෙක ඔහු ඇගේ සැමියා ලෙසත් හඳුන්වනු ලැබුවාය. ප්‍රිය සම්භාෂණ සහ වෙනත් උත්සව සඳහා තිළිණි ඉසුරු සමඟ සහභාගි වීම නිසා තිළිණි ඇසුරු කළ කලා ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ පිරිස් හා දේශපාලනඥයන්ද ඇතුළු නානාවිධ අය ඉසුරුද සමීපව ඇසුරු කරන්නට විය. ඒ අතර පොලිස් නිලධාරීන්ද විය. ඔවුන් සමඟ ඡායාරූපවලටද පෙනී සිටියේය.ඒ වනවිට තිළිණි සිය ව්‍යාපාරයට මුදල් යොදවන අයට ලාභදායි මුදලක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයන් සතු මුදල් ඇගේ ගිණුම්වලට බැර කරමින් සිටියාය.“සර් එයා මගෙනුත් ලක්ෂ 5ක් ගත්තා. එයා කිව්වේ ඒ සල්ලි එයාගේ බිස්නස්වලට දානවා කියලයි. දවස් කිහිපයකට පස්සේ මගෙන් ගත්ත ලක්ෂ 5ට ලක්ෂ 10ක් දුන්නා.පස්සේ එයා මගෙන් ආයෙත් සල්ලි ඉල්ලුවා. මම ලක්ෂ 15ක් දුන්නා. ඒත් ඒක මට දුන්නෙ නැහැ”ඉසුරු බණ්ඩාර ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය. කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වීම තිළිණිගේ ව්‍යාපාරවලටද තදින් බලපෑවේය. ඒ නිසා ඇගේ ව්‍යාපාර ඇනහිටි බව ඉසුරු නිලධාරීන් ඉදිරියේ කියන්නට විය.“පිටරටවලින් වරායට එන කන්ටේනර් නිදහස් කරලා කොමිස් එකක් එන විධියක බිස්නස් එකක් මම පටන් ගත්තා. එක කන්ටේනර් එකකින් රුපියල් ලක්ෂ 50ක් මට හම්බවෙනවා. ඒත් ඒ සල්ලි මගේ එකවුන්ට්වලට දාන්නේ නැහැ. වෙන අයගේ එකවුන්ට්වලට තමයි දාන්නේ”තිළිණි වරෙක එසේ පැවැසූ බවද ඔහු නිලධාරීන් හමුවේ කියා සිටියේය.තිළිණි ප්‍රියමාලි සංඝයා වහන්සේ ඇසුරට මහත් ප්‍රියතාවක් දැක්වූවාය. දිනක් තිළිණි සිය පෙම්වතාද කැඳවාගෙන කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් මුණගැසුණාය. එහිදී උන්වහන්සේ මළවුන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඔවුනට පැවැසූහ.“මළවුන්ගේ ආත්මයට හොඳට පුද කළාම ඒ පුද්ගලයා කියන දේවල් අපිට ඇහෙනවා මම ඕන නම් ඔබතුමියටත් මළවුන් කියන දේ ඇහෙන්න සලස්වන්නම්”තිළිණිද උන්වහන්සේ කියන ආකාරයට මළවුන් වෙනුවෙන් අවශ්‍ය පුද පූජා පවත්වන්නට වූවාය. ඒ සඳහා තරුපහේ හෝටලයක මුහුද පෙනෙන දුරින් පිහිටි කාමරයක්ද ඇය වෙන් කරවා ගත්තාය.“දවස් තුනක් විතර යන කොට තිළිණි මට වෙන කටහඬකින් කතා කළා සර්.”ඉසුරු සිය පෙම්වතිය තිළිණි සමඟ ගත කළ අතීතය එසේ පවසන්නට විය.2020 දී තිකෝ ගෘෘප් ඔෆ් කම්පැනි නමින් ලෝක වෙළෙඳපළේ 34 වැනි මහලේ තවත් ව්‍යාපාරයක් ආරම්භ කළ තිළිණි එම ව්‍යාපාරය කාගේත් මැදිහත් වීමකින් තොරව පවත්වාගෙන යන්නට තීරණය කළාය.තමාවද ඊට සම්බන්ධ කර නොගත් බව ඔහු රහස් පොලිසියට කීවේය.ඉන් අනතුරුව ඉසුරුද තිළිණිගේ කාර්යාලය ඇති 34 වැනි මහලේ එක් පැත්තක සංචාරක ව්‍යාපාර කටයුතු සහ උත්සව සංවිධානය කරන ආයතනයක් ආරම්භ කර ඇත. කෙසේ වෙතත් තිළිණිද ඉසුරුගේ මෙම සමාගමේ අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කළාය. සංචාරකයන් ලංකාවට ගෙන්වීමද මෙම ව්‍යාපාරය ඔස්සේ සිදුකෙරිණි.තිළිණි සිය ව්‍යාපාරයෙන් අතමිට සරු කර ගත්තාය. ඒ අනුව ඇය තරුපහේ සුපිරි හෝටලයක නිවෙසක්ද මිලයට ගෙන එහි නතර වී ව්‍යාපාර කටයුතුද පවත්වාගෙන ගියාය.“ඔය කාලයේ තමයි තිළිණි මට කිව්වේ එයාට බිස්නස්වලට ඩොලර් ඕන. ඒ නිසා ලංකාවේ සල්ලි ඩොලර්වලට මාරු කරලා දෙන්න කියලා. මුලින්ම එයා මට ලක්ෂ 75ක් දුන්නා. ඊට පස්සේ තව ලක්ෂ 15ක් දුන්නා ඩොලර්වලට මාරුකර දෙන්න කියලා.”“ඒ සල්ලි කමල් හසන්ගේ විදේශ මුදල් ආයතනයට අරගෙන ගිහින් ඩොලර්වලට මාරු කරලා මම තිළිණිට දුන්නා. තිළිණි කමල් හසන්ට මාව හඳුන්වලා දුන්නේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලයි.ඔය ඩොලර් මාරුකරන්න ගිය අවස්ථාවල තමයි මම කමල් හසන්ව දන්නේ.”ඉසුරු පැමිණිලිකාර කමල්හසන් දැන හඳුනාගත් ආකාරය රහස් පොලිස් නිලධාරීන්ට එසේ පවසා සිටියේය.කමල් හසන් නමැත්තා සිය පැමිණිල්ලෙන් තිළිණි ප්‍රියමාලිට පවුම් 137ක කිලෝවක රන් අභරණ ලබාදුන් බවය. නිලධාරීන් ඒ සම්බන්ධයෙන්ද ඉසුරු බණ්ඩාරගෙන් ප්‍රශ්න කළේය. ඒ රන් අභරණ ලබාදෙන මොහොතේ ඉසුරු බණ්ඩාරද එතැන සිටි නිසාය. ඒ අවස්ථාව ඇතුළත් වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.“2021 මම කමල් හසන්ව හඳුන ගත්තට පස්සේ එයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් තිළිණි එයාත් එක්ක ගනුදෙනු කළා.දවසක් මම තිළිණි හමුවෙන්න එයාගේ ඔෆිස් එකට ගියා. තිළිණි තව පුද්ගලයන් දෙන්නෙක් සමඟ රත්තරන් බඩු වගයක් පරීක්ෂා කරමින් හිටියා. ඒවා කමල් හසන්ගේ කියලා මම දන්නේ නැහැ. වළලු, මාල, මුදු තිබුණත් කොච්චර තිබුණද කියලා මම දන්නේ නැහැ. එතැන හිටිය දෙන්නා තමයි රත්තරන් බඩු කිරලා බැලුවේ. ඒවා කාට දුන්නද කවුරු අරන් ගියාද කියලා මම දන්නේ නැහැ.”ඉසුරු ප්‍රශ්න කිරීම් හමුවේ කියන්නට විය. එහෙත් ඔහු පවසන්නේ කමල් හසන් තිළිණිට හඳුන්වා දුන්නේ තමා බවය. ඉන් පසු තිළිණි ප්‍රියමාලි ගනුදෙනු සිදු කළ බවද ඉසුරු කියා සිටියේය.2022 මුස්ලිම් අවුරුදු දා තිළිණි කිව්වා රෑ කෑමකට කමල් හසන්ගේ ගෙදර එන්න කියලා තියෙනවා කියලා. තිළිණිත් මමත් ආරක්ෂකයකුත් තලාහේනේ කමල් හසන්ගේ ගෙදරට ගියා. රෑ කෑමට ඩී. අයි. ජී. කෙනකුත් ඇවිත් හිටියා.”ඉසුරු බණ්ඩාර කියා සිටියේය. මේ අතර ඉසුරු බණ්ඩාර සතුව යාන වාහන කිහිපයක් ඇති බවත් ඒවා තිළිණිගේ වංචා සහගත මුදල්වලින් ලබාගත්තේද යන්න සැකයක්ද නිලධාරීන්ට ඇතිවී තිබිණි. ඒ අනුව නිලධාරීන් ඒ සම්බන්ධයෙන්ද ඉසුරුගෙන් ප්‍රශ්න කරන්නට විය.“2020 මම BMW කාර් එකක් මිලට ගත්තා. ඒක ලක්ෂ 250 ක් විතර වෙනවා. මගේ යාළුවෙක්ගෙන් තමයි ගත්තේ. අම්මයි තාත්තයි ලක්ෂ 150ක් දුන්නා. මගේ බිස්නස්වලින් ලක්ෂ 75ක් දැම්මා. තිළිණි කාර් එක ගන්න තෑග්ගක් හැටියට මට ලක්ෂ 25ක් දුන්නා. ඒ සල්ලි දාලා තමයි ලක්ෂ 250ට කාර් එක ගත්තේ.පස්සේ ඒක ජූලි මාසයේදී කොහුවල තැනකට වික්කා ලක්ෂ 340කට. ඒ සල්ලිවලින් ලක්ෂ 50ක් මගේ නමින් සම්පත් බැංකුවට දැම්මා.මම මගේ යාළුවකුගෙන් ලක්ෂ 75ක් ණයට අරන් තිළිණිට දීලා තිබුණා. එයා කිව්වා ලක්ෂ 75ට ලක්ෂ 150ක් දෙන්නම් කියලා. ඒත් අදටත් ඒ මුදල දුන්නේ නැහැ. මම ඒ සල්ලි ඇපවෙලා අරන් තිබුණු නිසා මගේ කාර් එක විකුණපු සල්ලිවලින් යාළුවට දුන්නා.කාර් එක විකුණලා මගේ ප්‍රයෝජනයට රෙක්ස්ටන් ජීප් එකක් ගත්තා ලක්ෂ 120කට. තව ලක්ෂ 30ක් පිළිමතලාවේ බැංකුවකට දැම්මා.”ඔහු තවදුරටත් ප්‍රියමාලි සම්බන්ධයෙන් මෙසේද අනාවරණයක් කළේය.“2021දී තිළිණි මට රත්තරන් කියලා කුට්ටි 10ක් දුන්නා. ඒක මගේ ගෙදර තාත්තගේ භාරයේ තියෙනවා. මම හදිස්සියකට එක කුට්ටියක් පරීක්ෂා කරද්දී ඒවා පිත්තල කියලා දැන ගත්තා.”ඉසුරු බණ්ඩාර රහස් පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තිළිණි මූල්‍ය වංචාවලට සම්බන්ධ බව නොදන්නා බවත් ඇය සමඟ සම්බන්ධ වූයේ සමහරු ඇයට ඇති ඊර්ෂ්‍යාවට එලෙස කටයුතු කරන බවට විශ්වාස කළ නිසා බවය.එමෙන්ම ඉසුරු නිලධාරීන් ඉදිරියේ වැඩිදුරටත් සඳහන් කළේ ඔහු තිළිණි සමඟ විදේශ සංචාර 8කට සහභාගිවූ බවය. ඒ සඳහා වියදම් කළ මුදල් වංචනික ලෙස උපයාගත් මුදල් බව තමා දැන නොසිටි බවත් ඔහු කීවේය.“මම එයාගේ ව්‍යාපාරවල කිසිම තනතුරක් දැරුවේ නැහැ. මම කාගෙන්වත් මුදල් ඉල්ලලත් නැහැ. එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා එයා යන උත්සවවලට මාවත් එක්කගෙන ගියා.”ඉසුරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. එහෙත් රුපියල් කෝටි 350කට අධික මුදලකට සිදුවූ දේ රහස් පොලිසිය තවමත් සොයාගෙන නැත. ඒ සම්බන්ධයෙන් තිළිණිගේ ව්‍යාපාරවල යෙදෙන සේවක සේවිකාවන්ගෙන්ද රහස් පොලිසිය ප්‍රකාශ ලබාගනිමින් සිටී. තිළිණිගේ සහ ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේද විමර්ශන සිදු කළත් රුපියල් කෝටි 350ට සිදුවූදේ තවමත් අබිරහසකි. මේ වනවිට ලැබුණු තොරතුරුවලින් හෙළිවන්නේ ඇගේ සතියක වියදම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බවය.ප්‍රිය සම්භාෂණ, කලා කටයුතු, චිත්‍රපට කටයුතුවලට ඇය මිලියන ගණනින් වියදම් කරමින් දිගින් දිගටම වංචා සහගත ලෙස මුදල් රැස් කර ගෙන ඇති බව රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇත.ජා-ඇළ ගෙදර බුදුපිළිමයට සතියට රුපියල් ලක්ෂ 3ක නෙළුම් මල් එයා පූජා කරනවා. ගුරුකම් වැඩවලට සුරදාන්න සල්ලි වියදම් කරනවා. මායා ජාලය චිත්‍රපටයේ මුහුරත් උළෙලට ලක්ෂ 350ක් වියදම් කරලා තිබෙනවා. ප්‍රවර්ධන කටයුතුවලට ලක්ෂ 55ක් වියදම් කරලා ලෝක වෙළෙඳපළේ කාර්යාලයේ සේවකයන්ගේ වැටුප්වලට මාසෙකට ලක්ෂ 41ක් දීලා. මෙයාට එරෙහිව ලක්ෂ 873ට අදාළව තව පැමිණිලි තුනක් රුපියල් ලක්ෂ අටක් වටිනා රන් මාලයක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් කිලෝවක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියට පැමිණිලි ලැබිලා තියෙනවා.ඒ වගේම මෙයා ගමන්බිමන්වලට, අඳින පලඳින ඇඳුම්වලට පාවිච්චි කරන රූපලාවණ්‍ය උපකරණවලට විශාල වියදමක් කරනවා.“මෙයා තොල් ආලේපනයක් සඳහා එකක් රුපියල් 45,000කට මිලදී ගන්නවා. ඒ වගේ ඇස්වල පිහාටු අලංකාර කරන්න මස්කාර එකක් සඳහා 75,000ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම නිය අලේපනයක් රුපියල් 40,000ක් දීලා මිලදී ගෙන තියෙනවා. උත්සවයකට අඳින සාරියක් රුපියල් 50,000කට වඩා අධිකයි.ඒ වගේම අපිට තොරතුර ලැබුණු සතියට වරක් තිළිණි ගස්ලබු, කෝපි සහ ඉඟුරු මිශ්‍රණයක් හදලා ඒ මිශ්‍රණය සිරුරේ ගාගෙන පැයක් විතර ඉඳලා පස්සේ නැවුම් කිරිවලින් නානවා කියලා.”ඔන්න ඔය වගේ චරිතයක් තමයි තිළිණි මෙවන් දෑ සඳහා ඇය මෙම වංචාවෙන් ලබාගත් මුදල් වියදම් කරන්න ඇතැයි සැක කරනවා. මේවා අපි හොයා ගත්තේ ප්‍රශ්න කරලා ගත්ත තොරතුරුවලින්.”විමර්ශන සිදුකළ රහස් පොලිස් නිලධාරියෙක් කීවේය.මේ අතර ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකක කිහිපයක් ප්‍රශ්න කළද ඔහු සන්තකයේ ඇති ගිණුම් දෙකක රුපියල් ලක්ෂ 90ක් ඇති බව සොයා ගැනීමට හැකිවී ඇත්තේ කමල් හසන්ගේ පැමිණිල්ල සටහන් කරගත් විමර්ශන ඒකකයේ නිලධාරීන්ට පමණි.ඒ අනුව රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත්තේ දෙවැනි සැකකාර ඉසුරු නමැත්තා පළමු සැකකාරිය වන තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවලට සම්බන්ධ වී මේ ආකාරයට සිදුකරන ලද තවත් මූල්‍ය වංචා කිහිපයක කරුණු අනාවරණය වී ඇති බවය.එමෙන්ම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද කියති.මෙම සැකකාරිය සහ සැකකරු සම්බන්ධ වී වංචා කර ඇති විදෙස් මුදල් සහ රන් භාණ්ඩ සොයා ගැනීම සහ ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීමට විමර්ශන කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.කෙසේ වෙතත් වංචා කළ රන් කිලෝවකට අදාළ රන් භාණ්ඩ රන් වෙළෙඳ සලකට ලබාදී ඇති බවට රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් රහස් විමර්ශනයක් සිදු කරන බවද වාර්තා වේ.මෙවන් කරුණු කාරණා මත සැකකාරියක් වූ තිළිණි ප්‍රියමාලිට සහ සැකකාර ඉසුරු බණ්ඩාර යන අයට ඇප ලබාදීම ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාධාවක් වන බවත් ඔවුන් අධිකරණය මඟහැර යෑමට ඉඩ ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටීම නිසා මොවුන් දෙදෙනා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂජේයෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල ඇතුළු කණ්ඩායම් 11ක් මේ මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.කීර්ති මෙන්ඩිස්මව්බිම
