හර්ෂණීගේ සැත්කම කළ වෛද්‍යවරයාට එරෙහිව ඥාතීන්ගෙන් පැමිණිල්ලක් (Video)
Tuesday, 04 October 2022 - 17:01 | Views - 1,103

හර්ෂණී ධර්මවික්‍රම.. ඇයව ඔබට මතක ඇති. වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවනට සිදුවුණු අලුත් බැන්ද මනාලිය ඇයයි.
වත්තල පෞද්ගලික රෝහලකදී සිදු කළ උදර සැත්කමකින් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි හර්ෂණී ධර්මවික්‍රම මියගියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැත්කම සිදු කළ වෛද්‍ය හසංජය ගුණවර්ධනට එරෙහිව ඇයගේ ඥාතීන් පසුගිය 01 වැනිදා වත්තල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
උදරය ආශ්රිත රෝගී තත්වයක් හේතුවෙන් ඇය වත්තල පෞද්ගලික රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් සිටිය දී, ඇයගේ පිත්තාශයේ ගල් ඇති බවට නිරික්ෂණය වීම හේතුවෙන් ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවට වාර්තා වෙනවා. ඉහත වෛද්‍යවරයා ඉකුත් පළමු වැනිදා හර්ෂණීට මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්වයක් මත සැත්කම කළ දිනට පසු දින ඇය රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රාගම රෝහලේ දින 23ක් නේවාසික ප්‍රතිකාර ලබන අතරතුර ඇයට නැවත සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා. මෙම දින 23 රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හර්ෂණී ඉකුත් 25 වන දින මියගියා. මෙම සිද්ධියේ වෛද්‍ය හසංජය ගුණවර්ධනට එරෙහිව ඇයගේ ඥාතීන් නීතිඥවරුන් පිරිසක් සමග වත්තල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වත්තල පොලිසිය කියයි.
පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි. ආමාශ ආන්ත්රික ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි.
Share This Article