රැකියාවට ආ අවදානම - ලක්ෂ දෙකක් මහ පාරට
Saturday, 01 October 2022 - 14:10 | Views - 815
විදුලි බිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙනවා.
විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේ.
කොවිඩ් පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණු බව ද සඳහන්.
කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද සඳහන් වුණා.
මේ අතර, ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත්, 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
විදේශගතවූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී එක්ලක්ෂ විසි එක් දහස් හත් සිය අනූ පහක් දක්වා වැඩිවී තිබෙන බවද සඳහන්.
Share This Article