පරලොව ගිය මන්ත්‍රීවරුත් ජලයට ණයයි - බිල්පත ගන්න අංකයක්
Monday, 19 September 2022 - 11:46 | Views - 694

පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නියෝජනය කළ මැති ඇමැතිවරුන් විසින් ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 10ක් පමණ වන බව එම මණ්ඩලය පවසනවා.
එම මුදලින්, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස විසින් මණ්ඩලයට රුපියල් මිලියන 3 ක පමණ මුදලක්ද,
පාර්ලිමේන්තුව නියෝජනය කර ඉන් ඉවත්ව සිටින පිරිසගෙන් රුපියල් මිලියන 4 ක පමණ මුදලක් ද,
එසේම, පාර්ලිමේන්තුව නියෝජනය කර මේ වන විට මියගොස් සිටින පිරිසගෙන් රුපියල් මිලියන 3ක පමණ මුදලක් ද ,
අයවිය යුතු බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.
කෙසේ වෙතත්, ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම හිඟ මුදල් නිළ නිවාස වලට අදාල ගෙවීම් නිසාවෙන්, ගෙවීම් කළ යුත්තේ අමාත්‍යංශ මට්ටමින්ද නැත්නම් අතිරික්තයක් නිසාවෙන් මන්ත්‍රීවරුන්ද යන්න තවමත් සොයා බලමින් කටයුතු කරමින් සිටින බවයි.
එසේ වුවද, මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙම මුදල් අයකර ගැනීමට මේ වනවිටත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඇති බවයි.
එසේම, කථානායකවරයා හමුවී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු සඳහන් කළ පරිදි හිඟ ජල බිල්පත් ගෙවීමට මාස දෙකක කාලයක් ලබා දීමෙන් අනතුරුව එසේ ගෙවීම් නොකරන්නේ නම් සියලුම ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ,කටයුතු කරන බවද ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජී.ඒ. පියල් පත්මනාථ සඳහන් කර සිටියා.
එමෙන්ම, නිල නිවාසවල ජීවත් වන රාජ්‍ය නිලධාරීන්ගේ ජල බිල්පත් හිඟ මුදල් ඇත්නම් ඒවා අයකර ගැනීම සඳහාත් කටයුතු කිරීමට අනුමැතිය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, මෙම මාසය වන විට මෙරට ජල පාරිභෝගිකයන් විසින් නොගෙවූ ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 4400ක් වන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
එසේම, ඔබගේ ජල බිල්පතේ යම්කිසි ගැටළුවක් ඇත්නම් 1939 ඔස්සේ අමතා ගැටලුව නිරාකරණය කර ගැනීමටද හැකියාව පවතින බවද සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තවද, නවමු ක්‍රමයක් ලෙස ඔබගේ බිල්පත කෙටි පණිවුඩයක් ලෙස දුරකථනයට ලබා ගැනීමට හා විද්‍යුත් ලිපිනයට ලබා ගැනීමට අවශ්‍යනම් 071 9399999 යන අංකයට ඔබගේ ජල සබඳතාවයේ අංකය හා ඔබගේ විද්‍යුත් ලිපිනය සඳහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන් හැකියාව ලැබෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර සිටියා.
Share This Article