2022 ආසියානු ශූරයින් වූ සිංහයින්ට ගලා එන සුබාශිංසන
Monday, 12 September 2022 - 8:13 | Views - 504

වසර අටකට පසුව ආසියානු කුසලාන ක්‍රිකට් කිරුළ දිනාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ඒ, අවසන් මහා තරගයට ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.
මේ අතර 2022 ආසියානු ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා.
මෙම සියලු ජයග්රහණයන්ට නායකත්වය සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේ එකමුතුව සහ අසීමාන්තික කැපවීම ඉවහල් වූ බවයි ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝගකාරී තත්වය හමුවේ වුවද මාතෘභූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදුකැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්රවල දෙවන පරපුරටද මහඟු ආදර්ශයක් බව ද එම පණිවුඩයේ සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් මෙන්ම ලෝක ක්‍රිකට් නායකයින්ද සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙකු වන මිකී ආතර් ද මෙලෙස සුබපැතුම් එක් කළ අය අතරට ඇතුළත්.
එමෙන්ම සංජේ මංජේකාර්, අමිත් මිශ්රා, සහීඩ් අෆ්රිඩි, වසීම් අක්රම්, විරේන්ද්‍ර ෂෙවාග්, ඉර්ෆාන් පතාන් ද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට සුබපැතුම් එක් කළා.
Share This Article