පුවත්පත් අලෙවිය අඩුවෙයි ?
Monday, 05 September 2022 - 9:38 | Views - 789

පිට පළාත් වල පුවත්පත් අලෙවිය අඩු වී ඇති බව පුවත්පත් සමාගම් පවසනවා.
කෙසේවෙතත් තවමත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පුවත්පත් අලෙවිය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ.
ඩොලර් අර්බුදය හා රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සදහා ණයවර ලිපි විවෘත කිරීම ගැටලුවක් වී ඇති අතර මීට පෙර ආනයනය කළ කඩදාසි භාවිත කරමිනුයි ඇතැම් සමාගම් පුවත්පත් මුද්‍රණය කරනු ලබන්නේ.
ලේක්හවුස් සමාගමේ සභාපති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ එම සමාගමට තවත් මාස පහක කාලයකට පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි පවතින බවයි.
එහෙත් ඇතැම් සමාගම් මේ වනවිට පුවත්පත් මුද්‍රණ කඩදාසි නොමැතිව කළුකඩ හරහා එම කඩදාසි මිලදී ගැනීමට පෙළඹී තිබෙනවා.
එම තත්ත්වය හමුවේ අධික මිල ගණන් යටතේ කඩදාසි මිලට ගන්නා බවයි එම සමාගම් සදහන් කළේ.
දැනටමත් පුවත්පතක් මුද්‍රණයට අධික පිරිවැයක් දරන අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන වියදම් ද අධික වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මීට පෙර පුවත්පත් මුද්‍රණ කිහිපයක් ප්‍රකාශයට පත් කළ ද පවතින තත්ත්වය හමුවේ කොළඹ සහ පිටපළාත් වලට එකම මුද්‍රණය බෙදාහැරීමටයි පුවත්පත් සමාගම් කටයුතු කර ඇත්තේ.
රුපියල් 30ක්ව පැවති දිනපතා පුවත්පතක මිල පසුගිය ජුනි මාසයේදී රුපියල් 50ක් දක්වා, රුපියල් විස්සකින් ඉහළ දැමුවා.
ඉරිදා පුවත්පතක මිල ඉහළ දැමුණේ රුපියල් 150ක් ලෙසයි.
අද වන විට යලිත් පුවත්පත් මිල ගණන් ඉහළ දැමිය යුතු තත්ත්වයක් පැවතිය ද ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම හමුවේ පුවත්පත් මිලට ගෙන කියැවීම ජනතාවගේ අවශ්‍යතා අතර ප්‍රමුඛ නොවන බවයි පුවත්පත් සමාගම් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ සමස්ත පුවත්පත් කර්මාන්තයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එම සමාගම් පවසනවා.
Share This Article