ඩීසල් නොමැතිව විදුලි සෝපාන අක්‍රිය වෙයි
Monday, 29 August 2022 - 16:11 | Views - 301

ඩීසල් නොමැතිව මහල් නිවාස වල විදුලි සෝපාන අක්‍රිය වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
විදුලි කප්පාදුව ක්‍රියාත්මක කාලය තුල විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණිය ද ඔවුන්ට ඉන්ධන ලබා දීමට ක්‍රමවේදයක් නොමැති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
මේ අතර කැලණිස්ස බලාගාරයෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
එමෙන්ම ඇඹිලිපිටිය තාප බලාගාරයට අවශ්‍ය දැවිතෙල් ද මේ වන විට අවසන්වී ඇති අතර තවත් බලාගාර කිහිපයක ඉන්ධන පවතින්නේ දිනකට පමණක් බවයි විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එහෙත් සපුගස්කන්ද බලාගාරයට තවත් සතියකට පමණ ප්‍රමාණවත් ඉන්ධන ඇති බව එම ප්‍රකාශකයා කියා සිටියා.
කෙසේ වෙතත් මේ වන විට ජල විදුලි උත්පාදනය සිදුවන බැවින් මෙම තත්ත්වයෙන් දැඩි බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.
මේ අතර පිරවුම්හල් වලින් සියයට 60 කට පමණ යළි ඉන්ධන ලැබී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක ප්‍රකාශ කළා.
කොළඹ ඇතැම් ප්‍රදේශවල අද දිනයේ ඉන්ධන පෝලිම්වල අඩුවක් දක්නට ලැබුණද දිවයිනේ පිට පළාත්වල තවදුරටත් දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන අතර, ලංගම ඩිපෝ හරහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස බස් රථ ධාවනය සීමා කර ඇති බව බස් රථ සේවකයින් කියා සිටියා.
Share This Article