ඖෂධ හිඟය ක්‍රමයෙන් අඩුවෙන බවට ඇමතිගෙන් ප්‍රකාශයක්
Friday, 26 August 2022 - 12:09 | Views - 716

ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර ගත වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට මාස 03ත් 04ත් අතර කාලයක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ හමු වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
විනිවිදභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිඟයකින් තොර ව අඛණ්ඩ ව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වන බවයි අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ.
මාස 6 සිට අවුරුදු 5 දක්වා ළදරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂණ පදාර්ථ අඩංගු විටමින් හා ඛනිජ ලවණ ඖෂධ තොගයක් යුනිසෙෆ් සංවිධානය මගින් මෙහි දී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවින් ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇති වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.
ජීවිතාරක්ෂක ඖෂධ 14 ම මේ වනවිට රට තුළ පවතින බවත්, එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 384න් හිඟව පවතින 100ක පමණ ප්‍රමාණයද ඉතා කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙහි දී සඳහන් කර ඇත්තේ.
රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් වඩාත් ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නැංවෙමින් පවතින බැවින් මේ සඳහා සෞඛ්‍ය විශේෂඥ සංගම් හි අදහස් සතිපතා ලබා ගනිමින් පවතින බවත් අමාත්‍යවරයා එහි දී කියා සිටියා.
Share This Article