දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කෙරෙයි
Monday, 15 August 2022 - 12:55 | Views - 637

දෛනිකව අද (15) සිට විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නොරොච්චෝලේ බලාගාරයේ 01 වැනි ඒකකයේ විදුලි ජනන යන්ත්‍ර 02ක් බිඳවැටීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව අද සිට දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරෙනවා.
කෙසේවෙතත් ඊයේ (14) දිනයේ දී විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ අද සහ හෙට (16) දෙදින විදුලි කප්පාදුව සිදු වන්නේ පැයයි විනාඩි 20ක් පමණක් බවයි.
නමුත් නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීමත් සමග එම කාලසටහන වෙනස් වී තිබෙනවා.
අද පෙරවරුවේ නොරොච්චෝලේ බලාගාරය හදිසි බිඳ වැටීමකට ලක් වීමත් සමග බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබෙන බවත් දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත්, බලාගාරයේ තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article