නව ජල සහ විදුලි සබඳතා සීමා වෙයි
Tuesday, 09 August 2022 - 8:35 | Views - 770

වසර 9කට පසු සිදු කෙරෙන විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කෙරෙනවා.
ඒ අනුව සියයට 60ත් 90ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ යනු ඇති බව යි මහජන උපයෝගීතා කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
අවසන් වරට ගාස්තු සංශෝධනයක් 2014 වසරේ දී සිදු කෙරුණු අතර, එහි දී සියයට 25කින් පමණ විදුලි ගාස්තු අඩු කෙරුණා.
එතැන් සිට මේ දක්වා ගල් අඟුරු, දැවි තෙල් සහ ඩීසල් මිල විශාල ලෙස ඉහළ යාම හමුවේ ජනන වියදම වැඩි වීම නිසා විදුලිබල මණ්ඩලය මෙවර සියයට 229කින් පමණ ගාස්තු ඉහළ දමන දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටියා.
විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාව වී තිබුණේ, එමගින් වාර්ෂිකව බිලියන 500යේ සිට 800ය දක්වා ආදායම ඉහළ නංවා ගැනීම යි.
සියයට 229යේ යෝජනාව වෙනුවට මහජන උපයෝගීතා කොමිසම සියයට 60ක ගාස්තු වැඩිවීමක් යෝජනා කළ අතර ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලිඛිත හා වාචික කරුණු විමසීමක් ද සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඉහළ දමන ලද විදුලි බිලෙන් අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීම සඳහා මහජන උපයෝගීතා කොමිසම රුපියල් බිලියන 65ක් ඉල්ලා තිබුණ ද එය ලබා දීම මහා භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කර ඇති බව යි වාර්තා වන්නේ.
ඔවුන් දැනුම් දී ඇත්තේ මේ වසරේ දී රුපියල් බිලියන 80ක පමණ මුදලක් විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති බව යි.
ඒ අනුව අද දහවල් අවසන් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමේ දී මේ පිළිබඳ ද මහජන උපයෝගීතා කොමිසම අවධානය යොමු කරනු ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඩොලර් අර්බුදයත් සමග උපකරණ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් නව විදුලි සහ ජල සබදතා ලබාදීම තාවකාලික ව සීමා කර තිබෙනවා.
අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් නව සබදතා ලබා දීමට යි බලධාරීන් තීරණය කර ඇත්තේ.
මේ අතර රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තු රුපියල් 50 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එය මේ මස 15 වන දා සිට ක්‍රියාත්මක වනු ඇතැ යි බලාපොරොත්තු වන බව යි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කළේ.
Share This Article