ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය අද සිට දිවයින පුරා පිරවුම්හල්වල ක්‍රියාත්මක වීම ආරම්භවීමත් සමඟ ඇතැම් පිරවුම්හල්වල එය සාර්ථකව සිදු කෙරුණද ඇතැම් පිරවුම්හල්වලින් ගැටළුකාරී තත්වයන්ද වාර්තා වුණා.
එමෙන්ම ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම නිසා ප්‍රදේශ ගණනාවක අද ඉන්ධන පෝලිම්වල වැඩිවීමක් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිරවුම්හල් 1,140 ක කිව් ආර් ක්‍රමවේදය සමඟ අනුගතවී එය, තාක්ෂණිකව අත්හදා බැලුනු අතර, ඉන් පසුවයි අද සිට එය, දීපව්‍යාප්තව ආරම්භ කරනු ලැබුවේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික ඉන්ධන අවසර පතට අනුව මේ දක්වා ලක්ෂ 10 ඉක්මවූු ගණුදෙනු ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.
ඉන්ධන ලබාගැනීමේදී සිදුවන අක්‍රමිකතා මැඩපැවැත්වීමට සහ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීමේ අරමුණින් මෙම කිව් ආර් ක්‍රමවේදය හඳුන්වා දුන් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර ඇතැම් පිරවුම්හල් රජය දැනුම්දුන් පරිදි කිව් ආර් ක්‍රමවේදයට අනුගත වෙමින් ඉන්ධන ලබා නොදීමේ සිද්ධීන්ද වාර්තාවුණා.
එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබාගැනීමට පොලිස් ස්ථානවල ලියාපදිංචි වන ලෙස දැනුම්දී තිබුණද ඒ පිළිබඳව දැනුවත් නොවූ පිරිස් සම්බන්ධයෙන්ද තවමත් වාර්තාවනවා.
මේ එවැනි ත්‍රිරෝද රථ රියදුරෙකුට පොලිසිය උපදෙස් ලබාදුන් ආකාරයයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබාදෙන ලීටර 5 ක කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ පාසල් සිසුන්ට මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අද සිට විශේෂ පාසල් බස් රථ සේවාවක් ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ සඳහන් කළේ පළමු අදියර යටතේ බස්නාහිර පළාත කේන්ද්‍රකරගනිමින් එය ක්‍රියාත්මක කළ බවයි.
එමෙන්ම වැඩි මිලට අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ පෙට්‍රල් ලීටර 140 ක් සමඟ සැකකරුවෙකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඉන්ධන ලීටර 240 ක් සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේදියි.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන 5 වනදා සිට අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.