අද සිට පාසල් ඇරඹෙයි
Monday, 25 July 2022 - 7:33 | Views - 1,074

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) දිනයේ දී සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා.
2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේ.
පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර, අද සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.
එසේම පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ.
ඒ අනුව අද සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.
මේ අතර, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා පෙරේදා (23) පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබුණා.
ඒ, ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මේ අතර දකුණු පළාත් සභාව යටතේ පැවැත්වෙන සියලුම පාසල් සතියේ දින පහේම පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ බව දකුණු පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයා විසින් ඊයේ දිනයේ දී දැනුම්දෙනු ලැබුවා.
Share This Article