නව ජනපති තෝරාගන්න - ඡන්දය තියන්නේ මෙහෙමයි ?
Friday, 15 July 2022 - 15:18 | Views - 631

ජනාධිපති ධුරය හිස්වූ අවස්ථාවක ඒ සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් 1981 අංක දෙක දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතින් කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව ධුරයෙන් ඉවත්වූ ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් සුදුසුකම් ඇති මන්ත්‍රීවරයෙකු බහුතර කැමැත්තෙන් තෝරා පත් කරගත යුතුයි.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදුවන මෙම ක්‍රියාවලියේදී කථානායකවරයාටද ඡන්දයක් හිමිවීම විශේෂත්වයක්. අදාළ ක්‍රියාවලිය සඳහා දින 3 ක් පාර්ලිමේන්තුව රැස්වීමට පනත මගින් බලය ලබාදී තිබෙනවා.
ජනාධිපති ධුරය හිස්වූ දිනට පසුව හැකි ඉක්මණින් උපරිමය මාසයක කාලසීමාවක් ඇතුළත නව ජනාධිපතිවරයා තෝරා පත් කරගත යුතුයි. ධුරය හිස්වූ දින සිට දින 3 ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර, පළමු දිනයේ මහ ලේකම්වරයා විසින් ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතු වනවා.
එතැන් සිට දින දෙකකට පසු ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාරගැනීම සිදුවිය යුතුයි.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙවැනි අවස්ථාවක තේරීම් භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීමට ප්‍රතිපාදන පවතින අතර, එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා වන්නේ නම් ඔහු ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමයි සිදුවන්නේ.
නම් කිහිපයක් යෝජනා වන්නේ නම් ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර, ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්ද පෙට්ටිවල පූර්ණ වගකීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සතුයි.
මහ ලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු මන්ත්‍රීවරුන්ගේ නම් අඬගසනු ලබන අතර, එහිදී එක් එක් මන්ත්‍රීවරයා සිය ඡන්ද පත්‍රිකාවේ රහස් ඡන්දය සළකුණු කර පෙට්ටියට දැමීම සිදුවනවා.
එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන අතර, ඡන්දය දෙන මන්ත්‍රීවරයාගේ නමට ඉදිරියෙන් එකේ ඉලක්කම යෙදීමෙන් ඡන්ද සළකුණු කිරීම සිදුකළ යුතුයි. එසේම අපේක්ෂකයින් කිහිපදෙනෙකු යෝජනා වී ඇති අවස්ථාවක ඡන්දය සළකුණු කිරීමේ අවස්ථාවද හිමිවනවා.
යම් අවස්ථාවක අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමකින් ජනාධිපතිවරයා තෝරා පත් කරගත යුතුයි.
මේ අතර ජනාධිපතිවරයාගේ ධුරයෙන් ඉවත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයෙදී පැවැත්වුණා.
එම හමුවේදී නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාවලිය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ හමුවක්ද මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා.
එමෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක්ද අද පස්වරු එකට පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
Share This Article