"බය නිසාම මම සිංදු කිව්වේ හැමෝටම හොරෙන්".කවුරුත් නොදත් ප්‍රියා සූරියසේනගේ පුතා කියයි.
Thursday, 16 August 2018 - 11:26 | Views - 20,936
"මට මතකයි මම අප්පච්චි සින්දු කියන විදිහ අනුකරණය කරන හැටි.."

"අප්පච්චිගේ ගීත වෙන අයට විකෘති කරන්න ඉඩ දෙන්නේ නැහැ.."

ලක්ෂිත සූරියසේන කියන නම රූපය කෙනෙකුට නුහුරු නුපුරුදු වෙන්න පුළුවන්. නමුත් ප්‍රියා සුරියසේන කියන නම වගේම ඒ රූපයත් කටහඩත් බොහෝ දෙනෙකුට මතකයි. ඔහුගේ හඩින් ගැයුණු ගීත ඒ කාලේ පෙම්පත්වල පවා ලියවුණා. ඒ තරම්ම ඔහු ගැයූ ගී ප්‍රේමනීයයි. නමුත් ඔහුගේ එකම පුතණුවන් වූ ලක්ෂිත ගායකයෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ නැහැ. ඒ නිසා ඔහු කවුද මොනවද කරන්නේ කියලා මේ විදිහට කතාබහ කළා. මේ ප්‍රියා සූරියසේනයන්ගේ පුතණුවන් වූ ලක්ෂිත ගැනයි.

ප්‍රියා සූරියසේන කියන චරිතය ජනප්‍රියයි. නමුත් ඔබ කවුද මොනවද කරන්නේ කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ ගැන කතා කරලම අපි කතාබහ අරම්භ කරමු..?

මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. වැඩිදුර ඉගෙන ගන්න මම අවුරුදු 14 ට කලින් ඇමරිකාවට ගියා. ලංකාවට ඇවිත් මාස දෙකක් විතර ඇති. මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිය අවසන් කරනවත් එක්කම ශිෂ්‍යත්වයක් ලැබිලා තමයි ඇමරිකාවට යන්නේ. මම ඇමරිකාවේ උපාධි දෙකක් කළා. නැනෝ තාක්ෂනය සම්බන්ධයෙන් මහාචාර්ය උපාධිය අවසන් කරලා තමයි ලංකාවට ආවේ.

ඔබට ගීතය සංගීතය කියන එක ඕපපාතිකයක් නෙමෙයි. ජනප්‍රිය ගායකයෙක්ගේ පුතෙක් වීම නිසාම පාසලේ එහෙම තිබුණු පිළිගැනීම කොහොමද..?

පාසලේ ගුරු හමුවීම්වලට අප්පච්චි එනවා. ඒ නිසා බොහෝ අය දන්නවා මම කවුද කියලා. හොද පිළිගැනීමක් තිබුනා. ඒ ගැන මටත් සතුටක් තිබුණේ. නමුත් මම ගීත ගායනා කරන්න එහෙම බයයි. මොකද මාව කවුරු හෝ විනිශ්චය කරයි කියලා. නමුත් ප්‍රථමික ද්විතික අංශවලින් ගායනා තරගවලට සම්බන්ධ වුණා. ඒවායෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ටික ටික ලොකු වෙද්දී යාලුවෝ මට කියනවා සුදු පරවී රෑන සේ සින්දුව කියන්න කියලා. ඒ විදිහට තමයි පිරිසක් ඉස්සරහ සින්දු කියන්න පටන් ගත්තේ.

ඔබේ නිවසට බොහෝ කලාකරුවන් ඒ කාලේ සිට එන්න ඇති, ඔවුන්ව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබිලත් ඇති, ඒ ගේ සංගීත පසුබිමක් පවුලෙන් තියෙද්දී ඒ සදහා නැඹුරු නොවුණේ දෙමාපියන් දැම්ම වාරණයක් නිසාද..?

මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩි සිල්වා වගේ කලාකරුවෝ නිතරම අපේ ගෙදර ආවා ගියා. අප්පච්චි වයලින් එක වාදනය කරන හැටි සින්දු කියන හැටි දැක්කා. නමුත් කිසිම විදිහකින් මගේ දෙමාපියන් අපිට වාරණ දැම්මේ නැහැ. මට අක්කලා දෙන්නෙක් හා නංගි කෙනෙක් ඉන්නවා. ලොකු අක්කා වෛද්‍යවරියක්. පොඩි අක්කා බැංකු කළමානාකාරිනියක්. නංගි තවම ඉගෙන ගන්නවා. අපි තුන්දෙනාම අධ්‍යාපනයට තමයි මුල්තැන දුන්නේ. මම ඉස්සර සින්දු කිව්වේ හැමෝටම හොරෙන්. මට මතකයි මම අප්පච්චි සින්දු කියන විදිහ අනුකරණය කරන හැටි. නමුත් මම ගායකයෙක් වෙන්න හීන දැක්කේ නැහැ. ඒත් දැන් නම් ගීත ගායනා කරන එක ගැන හිතනවා.

ඒ කියන්නේ ඔබ ඉදිරියේදී ගායකයෙක් විදිහට දකින්න ලැබෙනවා කියන එකද..?

ඔව්. එහෙම අදහසක් තියෙනවා. ප්‍රේම කිර්ති ද අල්විස් මහත්මයා එයාගේ අකුරින්ම ලියු පදරචනයක් අප්පච්චි ලග තිබුණා. ඒකට තනුවක් දාලා මට ගීතයක් කරන්න අප්පච්චි උදව් කළා. ඒ ගීතය සිහිනෙන්වත් හමුවනු බැහැනේ කියලා. මිට අමතරම මම අලුත් ගීතයක් කළා. අප්පච්චිගේ තනුවකට තිලින රුහුනුගේ සංගීතය කළ මගේ පදරචනයකට ගයන ආදරවන්ති කියන ගීතය. මේ ගීතයට රූප රචනයකුත් කළා. මම ලංකාවට ඇවිත් දැන් මාස දෙකහමාරක් විතර වෙනවා. මගේ අනන්‍යතාවය ගොඩ නගාගෙන ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම අප්පච්චි සිංදු කියන්න පටන් ගත්තේ 1968 ඉදලා. අවුරුදු 50ක් සම්පුර්ණ වුණා. මගේ ලොකු කැමැත්තක් තියෙනවා අප්පච්චි වෙනුවෙන් ඒක පුද්ගල ප්‍රසංගයක් සංවිධානය කරලා දෙන්න. කවුරු හරි උදව් කරනවා නම් ලොකු දෙයක්.

ලක්ෂිත කියන්නේ නැනෝ තාක්ෂනය සම්බන්ධ උපාධියක් තිබෙන කෙනෙක්. සංගීතයට අවතීර්ණ වෙලා ජිවිතේ නාස්තිවීමක් කරගන්නේ කියලා හිතෙන්නේ නැද්ද..?

එහෙම හිතන්නේ නැහැ. මම වෘත්තීය විදිහට ඉගෙනගත් දෙයින් යමක් කරනවා. සංගීතය අමතර දෙයක් විදිහට කරන්නේ.

බොහෝ ජනප්‍රිය ගායකයින්ගේ දරුවන් දෙමාපියන්ගේ ගීත ගයනා කර ජනප්‍රිය වෙන්න වගේම මුදල් උපයන්න උත්සහ දරනවා. ඔබත් එවැනි කෙනෙක් වෙයිද..?

මම කැමතියි සංගීත ප්‍රසංගවලට එහෙම සම්බන්ධ වෙන්න. ආරාධනා ලැබුනොත් සම්බන්ධ වෙනවා. ඒවගේම තමයි මම කැමති නැහැ මගේ අප්පච්චිගේ ගීත වෙන අය ගායනා කරලා විකෘති කරනවට. මම ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ ගීත මම ගායනා කරනවා. එහෙම කරන්නේ ජනප්‍රිය වෙන්නවත් සල්ලි හොයන්නවත් නෙමෙයි. මම මගේ අනන්‍යතාවය හදාගෙන මගේ ගමන යනවා. කොහොමත් අප්පචිචිගේ ගීත මම ගායනා කරලා මුදල් ලැබුනොත් ඒ මුදල් අප්පච්චිටම දෙනවා.

මේ යන රැල්ලට ඔබට හැඩගැහෙන්න පුළුවන් වෙයිද.. ඔබව ප්‍රතික්ෂේප වෙයිද..මේ සියල්ල එක්ක ඔබට එය අභියෝගයක් නෙමෙයිද..?

යන රැලිවලට මම කොහොමත් යන්නේ නැහැ. බලමු ප්‍රතිචාර කොහොම වෙයිද කියලා. මම ක්ෂේත්‍රයට අවතීර්ණ වුනා විතරයි. අභියෝගයක් වෙයි. නමුත් ඒ අභියෝගය ජයගන්න උත්සහ ගන්නවා.

හර්ෂණී වීරරත්න
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top