අදත් දුම්රිය රැසක් අවලංගුයි
Wednesday, 06 July 2022 - 8:23 | Views - 1,040

රාජකාරි සදහා වාර්තා කිරීමට ඉන්ධන නොමැති බව පවසා දුම්රිය ස්ථානාපතිවරු ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය නියාමකයන සහ රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි එම වෘත්තීය සමිති කියා සිටියේ.
මේ හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කර ඇති බව ද ඔහු කියා සිටියා.
ඉන්ධන ඉල්ලා දුම්රිය ධාවනාගාර සේවකයින්, සේවයෙන් ඉවත්වීමත් සමඟ කාර්යාල දුම්රිය ධාවනයට ඊයේ පස්වරුවේ දැඩි බාධා එල්ලවුණා.
පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය ඊයේ දිනයේම අත්හිටුවනු ලැබුවා.
ඒ දුම්රිය පාලන අධිකාරිය එම සංගමය සමඟ කළ හදිසි සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසයි.
මේ අතර ලංගම ඩිපෝ මගින් ඉන්ධන ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත ඇතුලු ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනය සියයට 15ත් 20ත් අතර අගයක් දක්වා ඉහළ නංවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ දිනයේ දිවයින පුරා ධාවනය වූයේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 8ක් පමණ යි.
කෙසේ වෙතත් පසුගිය දිනවල දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 105කින් පෞද්ගලික බස් රථ 5,500ක් සඳහා ඉන්ධන නිකුත් කර තිබුණ ද මගී ප්‍රවාහනයේ නිරත ව ඇත්තේ, පෞද්ගලික බස් රථ 3,000ක් පමණක් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව ඇතැම් පෞද්ගලික බස් රථ ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ සියලු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළා.
මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් වයඹ පළාතේ ලියාපදිංචි වාහන සඳහා නැවත දැනුම් දෙන තුරු සඳුදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් ආදායම් බල පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම මෙමස පළමු වනදා සිට ලබන 31 වනදා දක්වා කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව නව අදායම් බල පත්‍රය ලබා ගැනීමට ලබන අගෝස්තු මස 31 වනදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය සඳහන් කළේ.
Share This Article