සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ගැනීමේ දී බාධා (Video)
Friday, 24 June 2022 - 13:31 | Views - 575

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද සිට සෑම සිකුරාදා දිනකම තෝරා ගත් පිරවුම්හල්වල දී ප්‍රමුඛතා වැඩපිළිවෙලක් යටතේ ඉන්ධන නිකුත් කරන බව පැවසුව ද සෞඛ්‍ය සේවකයන් අපහසුතාවයට පත්වීමේ සිද්ධීන් පිරවුම්හල් ගණනාවකින් වාර්තා වනවා.
වෛද්‍ය, හෙද, ඖෂධවේ දී ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරවුම්හල් අසළ පෝලිම්වල රැදී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව පවසමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කර තිබුණා.
මේ අතර, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, ඉන්ධන නො ලැබුණ හොත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ඉදිරියේ දී ක්ෂේත්‍ර රාජකාරි නවතා දැමීමට සිදුවනු ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ, පවතින තත්වය හමුවේ ඉදිරි සතිය තුළ සමස්ත සෞඛ්‍ය සේවයම අඩාලවීමේ අවදානමක් මතුව ඇති බවයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් කඹුරුපිටිය මූලික රෝහල, ඇල්පිටිය - නියාගම ප්‍රාදේශීය රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර සේවා මේ වනවිට ඇණ හිට තිබෙනවා.
ඉන්ධන ලබා ගැනීම සඳහා රෝහල් පාලනාධිකාරිය විසින් මෙතෙක් ක්‍රමවේදයක් සකසා නොමැති බවට චෝදනා කරමින් මාතර මහරෝහලේ සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.
ඒ හේතුවෙන් මාතර මහරෝහලේ හදිසි ප්‍රතිකාර හැර අනෙක් සියලු ප්‍රතිකාර සේවා ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් සේවකයින් විසින් ඒ පිළිබඳව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැනුවත් කළා.
මැදිරිගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබානොදෙන බවට සහ විවිධ ප්‍රදේශවලදී ඔවුන්ට තර්ජන එල්ල වන බවට පවසමින් සෞඛ්‍ය සේවකයින් අද රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
ඉන්ධන ලබා ගැනීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල ආසන්නයේ පවතින පිරවුම්හල වෙත රථ වාහන වැඩි සංඛ්‍යාවක් පැමිණීම නිසා අද පෙරවරුවේ එම රෝහල ඉදිරිපිට රථ වාහන තදබදයක් හට ගත්තා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව මත ඉන්ධන ලබාදීමේ නව වැඩපිළිවෙල ආරම්භ වූයේ අද දිනයේ බැවින් තව දින කිහිපයක් ගත වන විට එහි පවතින අඩුපාඩු අවම වී යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
මේ අතර, අනුරාධපුර - පණ්ඩුලගම ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදී සිටි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටී අද අලුයම මියගොස් තිබෙනවා.
එසේම, ඉන්ධන ලබා ගැනීම සඳහා ගාල්ල - අම්බලන්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක තිබූ ත්‍රිරෝද රථයක ගැටී යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ද වාර්තා වුණා.
අද අලුයම සිදු වූ එම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව තිබුණේ, අක්මීමන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර, දිවා රෑ නො තකා ජනතාව තවමත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටිනවා.
ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ - මරදාන සංඝරාජ වටරවුම ආශ්‍රිතව අද පෙරවරුවේ රථ වාහන තදබදයක් හට ගෙන තිබුණා.
මේ අතර, බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් වරක් නවතා දැමීමට සිදු වනු ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අඟවනවා.
එම තත්ත්වය යටතේ පිරිපහදුව යළි පණගැන්වීමට පවා නො හැකි වීමේ සැකයක් පවතින බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සඳහන් කළේ.
Share This Article