අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාව (Video)
Friday, 17 June 2022 - 13:49 | Views - 2,050

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට (17) පැවැත්වෙනවා.
කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල්, රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුලු තවත් නිලධාරීන් සහ මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටින බවයි වාර්තාවන්නේ.
එහිදී යම් හෙයකින් නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට රජයේ සේවකයන් යෙදවීමට සිදුවුවහොත් එම කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.
ලබන සතියේ සිට සිකුරාදා දින පමණක් අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සේවකයින්ට නිවාඩු ලබාදීමට පියවර ගැනුණු අතර, අද දිනට පමණක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදු නොකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ.
පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට සිදුවුවහොත් දුෂ්කරතා අවම කරගනිමින් එම කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත්වුණා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම සිදුකරන ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව සඳහන්.
මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ඔන්ලයින් ඉගැන්වීම් සිදු කිරීමේදී තාක්ෂණික දුෂ්කරතා අවම කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, පවතින තත්වය සමාලෝචනය කරමින් තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි.
Share This Article