අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගනය රාජමහ විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක වනවා.
ඊට සමගාමිව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් 20 දෙනෙකු ශාසනයට පුජා කිරීමද මෙහිදි සිදුවුණා.
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිල් සමාදන් වීම සදහා අද උදෑසන මහියංගන පුදබිමට පැමිණි උවැසි උවැසියන් අෂ්ඨාංගශිලයේ පිහිටවනු ලැබුවේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රාජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමියන් විසින්.
හිරු ශාසනාවතරණය පුණ්‍යෝත්සවය යටතේ සසුන් කෙතට මීට පෙර ඇතුලත් වු කරන්දෙණිය, උණගස්වල සිරිනිවේසාරාමවාසී පූජ්‍ය පදියතලාවේ ධම්මරුචි සාමණේර හිමියන් උදෑසන ධර්ම දේශණය සිදුකළා.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උතුම් වූ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන කුල දරුවන් සසුනට පුජා කිරීමේ හිරු ශාසනාවතරණය පුණ්‍යෝත්සවය ආරම්භ වුයේ ඉන් අනතුරුවයි.
මෙහිදී කුලදරුවන් 20 දෙනෙකු ශාසනයට පුජා කෙරුණු අතර දරුවන්ගේ හිස මුඩුකිරීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවේ මහියංගනය සොරබොරවැව පරිශ්රයේදීයි.
හිරු ශාසනවතරණය තුළින් මේ දක්වා කුල දරුවන් සියයකට අධික පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර තිබෙනවා.
එම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපනය අවසන් වන තෙක් ශීෂ්‍යත්ව ලබාදීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා කටයුතු කර තිබීමද විශේෂත්වයක්.
පෙරවරු 9.26 ට යෙදී තිබු සුබ නැකතින් කුල දරුවන් 20 දෙනා සම්බුද්ධ ශාසනයට ඇතුළත් කෙරුණේ හිරු ශාසනාවතරණයෙන් තවත් සේවාවක පරිච්ජේදයක් සනිටුහන් කරමින්.
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික, නියෝජ්‍ය ලේඛකාධිකාරි මහාවිහාර පිරිවෙන්පති ශාස්ත්‍රපති පුජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නා හිමියන් විසින් ඉන් අනතුරුව අනුශාසනාවක් සිදුකරනු ලැබුවා.
භික්ෂුන් වහන්සේ එකසිය පනස් නමක් විෂයෙහි සිදුකෙරෙන මහා සංඝික දානමය පුණ්‍ය කර්මය ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරයේදී පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
මේ අතර, හිරු ශ්‍රද්ධාභි වන්දනා වැඩසටහනට සමඟාමීව වන්දනාමාන කිරීම පිණිස සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ දෙනමක් සහ ආලෝක පූජා මන්දිරයක් කරවා, පූජා කිරීම සිදුවන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.
ඵෙතිහාසික මහියංගනය චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත කප්රුක් පැළඳවීමේ පිංකමද සිදු කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කර ඇති අතර එම පුණ්‍යකර්මයට එක් වීමට සැදැහැවත් ඔබට අද අවස්ථාව හිමිවනවා.
හිරු ශ්‍රද්ධාභි වන්දනා වැඩසටහන අවසන් කෙරෙන්නේ මහියංගනය චෛත්‍යරාජයාණන් වහන්සේ සුවද දුමින් නහවා, පංච තූර්ය නාද පවත්වා, ඵෙතිහාසික මහියංගනය රාජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස සිදු කෙරෙන අධිෂ්ඨාන පූජාවත් සමඟයි.